Tuesday, April 16, 2019

අවසන් කොටස - ආනන්ද් මහින්ද්‍රාගේ සාර්ථකත්වයේ පාඩම





ආනන්ද් මහින්ද්‍රා - කිනම් කළෙක හෝ නිරවද්‍ය අවදානම් දැරීමට දත් ව්‍යවසායකයා (පළමු කොටස)

දෙවැනි කොටස - ඉන්දියාවේ මතු නොව ලොවෙහිම අතු ඉති ලා වැඩුණු මහින්ද්‍රා නම් මහා වෘක්ෂය


  1. සාමකාමීව ගැටළු විසඳාගන්නට ඉගෙන ගන්න. (Learn to resolve peacefully)
දිවියේ බොහෝ අවස්ථාවන්හිදී ඔබට ඉවසිලිවන්තව ස්ථාවර මනසකින් ඉන්නට සිදුවේවි. සේවකයන් විසින්ම ව්‍යාපාරය වසා දැමීමට සිදුවන විරෝධතා පළ කරද්දී පවා මහින්ද්‍රා එය කළමනාකරණය කළ අයුරු බලන්න. ඔහු තම සුපුරුදු කොන්දේසි මත රැඳී සිටියා මිස තම සමාගම තුළ අලස බවට හා අකාර්යක්ෂමතාවට දිනන්නට ඉඩ දුන්නේ නැත.

   2. නොපසුබට උත්සාහය ප්‍රගුණ කරන්න. (Inculcate perseverance)

මහින්ද්‍රාගේ නොසෙල්වෙන අධ්‍යාත්මය සැමදා නායකත්වය ලබාදුන්නේ මහින්ද්‍රා සමාගම ඉන්දියාවේ විශාලතම සමූහ ව්‍යාපාරයන් හි මුල්තැනකට වැඩෙන්නටයි. නිදහසට පෙර යුගයේ ව්‍යාපාර සමාගම් තරගකාරී යුගයේ වෙළෙඳපොළ නායකත්වයන් කරා පරිවර්තනය වීම ඉන්දියාව තුළ සරළ දෙයක් නොවුණි. ඔහු මේ සියළු ගැටලුවලට මුහුණ දුන්නේ මධ්‍යගත ආර්ථික ක්‍රමයක (Licence Raj) සිට ලිබරල්කරණය දක්වා ඉන්දියානු ආර්ථිකය වෙනස් වෙද්දී ය. නමුත් ඔහුගේ උට්ඨාන වීර්යය විශේෂිත විය.



   3. හැමවිටම ලොකුවට හිතන්න. (Always think big)

මහින්ද්‍රාට යමක් සාර්ථකව සිදුකිරීම ගැන දැක්මක් හැමවිටම තිබූ අතර, පාලනය කිරීමේ බලය, වෙන්කිරීමේ සහ සිතිවිලි භාවිත කිරීම සැසඳිය නොහැකි අයුරින් විශිෂ්ඨය. මේ මිනිසාට අභියෝග කිරීමේ හා ලොකුවට සිහින දැකීමේ අනන්ත දහිරියක් තිබිණ. මහින්ද්‍රා සහ මහින්ද්‍රා ගව්වක් උසට ඉහළ නංවන්නට නිරතුරු පියවර ගත්තේය.

    4. නිරතුරු ඉගෙන ගන්න. (Keep learning)

ආනන්ද් මහින්ද්‍රා සමාජ මාධ්‍ය තුළ සියළු දෙනා සමග සෘජුවම සම්බන්ධ වී සිටියේය. එය රටේ වඩාත් බලසම්පන්නම තාක්ෂණවාදී ව්‍යාපාරික චරිත අතර ඔහු බබළවන්නට හේතු විය. තාක්ෂණය හෝ තරගකරුවන් අතර වඩාත් බය උපදවන දේවල් ඉදිරියේ පරාජය වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.  ඔහු වඩාත් අලුත් දේ සහ නවතම ක්‍රමවිධි උගනිමින් ඔවුන්ව පරාජය කළේය. ඔහු තවදුරටත් පරණ ව්‍යාපාරික පාසලට අයිති වූවෙක් නොවේ. ඔහු ඉන්දීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ශූරයා ය.

    5. පරිණාමය වන්න/ විකාසනය වන්න (Evolve)

සෑම ක්ෂේත්‍රයකම ව්‍යාපාරික අංශයන්ගෙන් පිරිපුන් සමාජීය සහ පාරිසරික වශයෙන් වගකීම් සහගත විශ්වීය ව්‍යාපාරික ජාලයක් බවට මහින්ද්‍රා සමාගම පරිණාමය විය. කෙනෙකුගේ දියුණුව සඳහා අලුත් වෙනස්වීම් වලට විවෘත වීම අත්‍යාවශ්‍ය වේ. ආනන්ද් මහින්ද්‍රා එහි ප්‍රතිමූර්තියකි. ඔහු පැරණි ව්‍යාපාරික පාසලේ සාමාජිකයකු වුවද, මහින්ද්‍රා නිරතුරු සමාජ මාධ්‍යය තුළ සක්‍රීය ය. එහි තේරුම සීමාවකින් තොරව තරුණ පරපුර අතර සාර්ථක බවයි. පාරිභෝගික ස්පන්දනය ඔහු දන්නා බවයි.

    6. අධිෂ්ඨානය (Determination)

නිදහසට පෙර යුගයේ ව්‍යාපාරයක් ලෙස මහින්ද්‍රා සමාගම දියුණුව කරා ගෙන යාමට ආනන්ද් මහින්ද්‍රා හට විසල් කාර්යභාරයක් කළ යුතුව තිබිණ. මන්ද ඒ ඉන්දියාව තම ආර්ථිකය තුළ පරිවර්තනයන් සිදු කරමින් සිටි කාලය යි. 1991 දී Licence Raj ක්‍රමය අවසන් වූ අතර, වෙළෙඳපොළ විදෙස් ආයෝජන සඳහා විවෘත විය. කුඩා පරිමාණ ව්‍යාපාරයක් රටේ විශාලතම සමූහයක් බවට පත් කරවීමේ මහින්ද්‍රාගේ තිර අදිටන මල්පල ගැන්වූ කාලයකි එය.

නමුත් වඩාත් රසවත් පාඩම ඔහුගේ මේ ප්‍රකාශය තුල අන්තර්ගත වී තිබේ.

"මගේ අබිලාෂය මහින්ද්‍රා සහ මහින්ද්‍රා ලෝකයේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සංවිධානය බවට පත් කරවීමයි. අප අපගේ පාරිභෝගිකයන් තේරුම් ගැනීම දෙසට වැඩි අවධානයක් යොමන්නේ නම් පාරිභෝගික කේන්ද්‍රීය නව්‍යතා වැඩි දියුණු කිරීමට අපට හැකි වනු ඇත." - ආනන්ද් මහින්ද්‍රා

Saturday, March 30, 2019

ආනන්ද් මහින්ද්‍රා - කිනම් කළෙක හෝ නිරවද්‍ය අවදානම් දැරීමට දත් ව්‍යවසායකයා (දෙවන කොටස)

පළමු කොටසට මෙතනින්




ක්‍රීඩා සඳහාම භාවිතා කළ හැකි වාහනයක් (Sport Utility Vehicle) ඉන්දියාව තුළදීම නිපැයීමේ මහානීය අරමුණක් ඔහු සිත පිළිසිඳ ගන්නේ මේ අතරතුරදියි.

වාහන එකලස් කිරීම පිළිබඳව ඔහුගේ බුහුටි බව භාවිත කරමින් ද, විලාස (Designs) නිර්මාණය සඳහා මෙන්ම නිෂ්පාදන අත්හදාබැලීම් සහ මූලෝපකරණ සම්පාදනය සඳහා සැපයුම්කරුවන් කැඳවමින්ද, සමාගම ඒ සඳහා කල් යල් බැලීය. ඒ අනුව The Scorpio වෙළෙඳපොළට පැමිණෙන්නේ අමෙරිකන් ඩොලර් මිලියන 120 ක මුළු පිරිවැයක් සහිතවය. එය අමෙරිකන් නිෂ්පාදකයා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වූ මුදලින් පහෙන් එකකි. එය ඉන්දියාවේ ප්‍රමුඛතම SUVය වන්නේ ලොව පුරා අපනයනය කරමිනි.

මහින්ද්‍රා සමාගම 2007 වසර තුළදී සමාගම් කිහිපයක් අත්පත් කරගැනීම සහ ඒකාබද්ධ කරගැනීම විශේෂත්වයකි. ඒ අනුව මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම පන්ජාබ් ට්‍රැක්ටර්ස් සමාගම තම ව්‍යාපාරයට ඒකාබද්ධ කරගත් අතර, ඉන් ඉන්දීය ට්‍රැක්ටර් වෙළෙඳපොළ තුළ තම කොටස දෙගුණයක් දක්වා වර්ධනය කරගනිමින් ලොව ප්‍රමුඛතම තරගකරුවකු බවට පත්විය. මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් යනු ඉන්දියාවේ, චීනයේ මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ට්‍රැක්ටර් අලෙවි කරන ලෝකයේ විශාලතම ට්‍රැක්ටර් සමාගමයි.

2010 දී මහින්ද්‍රා විසින් දකුණු කොරියාවේ සැන්ග්‍යොන්ග් මෝටර් සමාගමේ 70% ක හිමිකාරත්වය මිල දී ගන්නේ මහින්ද්‍රාගේ බෙදාහැරීම් අතගැසීම් ජාලය ලතින් අමෙරිකාව, යුරෝපය සහ රුසියාව වෙතද ව්‍යාප්ත කරගනිමිනි. මේ සමූහ ව්‍යාපාරය කාර් රථ, විදුලි කාර් රථ, මෝටර් සයිකල්, ස්කූටර්, ට්‍රක් රථ, කුඩා යාත්‍රා සහ ගුවන් යානා නිපදවීමද සිදු කරයි.

ආනන්ද් මහින්ද්‍රා විසින් 2012 අගෝස්තු මාසයේදී මහින්ද්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති පදවිය මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂ තනතුරද සියතට ගත්තේය. එවක පටන් මහින්ද්‍රා සහ මහින්ද්‍රා රෝහල්, ආරක්ෂක කටයුතු, තොරතුරු තාක්ෂණය සහ විදුලි වාහන ව්‍යාපාර සඳහා තම ආයෝජනය පුළුල් කරන්නේ අනෙකුත් ව්‍යාපාර අවස්ථා එලෙසම පවත්වාගෙන යන ගමන් ය.

  • ·       Mahindra Systech මගින් මහාද්වීප පහටම අවශ්‍ය මෝටර් උපාංග නිෂ්පාදනය කරයි.

  • ·       Tech Mahindra යනු ඉන්දියාවේ පස්වන විශාලතම තොරතුරු තාක්ෂණ සේවය මෙන්ම තොරතුරු තාක්ෂණ උපදේශන සමාගමයි.

  • ·       Mahindra Retail (Mom & me) මගින් ගර්භණී මව්වරුන්ට සහ ළදරුවන්ට අවශ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සිදු කරයි.

  • ·       160,000කට වඩා ඉන්දියානුවන් තම විවේකය සහ නිවාඩුව සෑම වසරකම ගත කරන්නේ Mahindra Holidays and Clubs සමගයි.

  • ·       Mahindra Agriculture යනු රටේ විශාලතම මිදි සහ දෙළුම් අපනයනකරුවායි.

  • ·       ඉන්දියානු රුපියල් කෝටි 15,000 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් සමගින් Mahindra Finance ග්‍රාමීය ඉන්දියාවේ විශාලතම බැංකු මූල්‍ය සමාගම බවට පත් වී සිටී.

  • ·       සූර්‍යබල ව්‍යාපෘති ව්‍යාපෘති අතික්‍රමණය කරන Mahindra Solar එම ව්‍යාපාරයේ ප්‍රමුඛතමයෙකි.

  • ·       Mahindra Logistics මේ වන විටත් ඉන්දියානු රුපියල් කෝටි 1,400ක ව්‍යාපාරයකි.

අද වන විට මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය අමෙරිකානු ඩොලර් බිලියන 16.2ක සංවිධානයක් වන අතර, ඉන්දියාවේ ප්‍රමුඛතම කර්මාන්ත 10 අතරින් එකකි.

ඉදිරියට........

Sunday, March 24, 2019

ආනන්ද් මහින්ද්‍රා - කිනම් කළෙක හෝ නිරවද්‍ය අවදානම් දැරීමට දත් ව්‍යවසායකයා (පළමු කොටස)





ආනන්ද් මහින්ද්‍රා ඉපදුණේ 1955 මැයි 01 වෙනිදා  ඉන්දියාවේ මුම්බායි හීදී. මූලික අධ්‍යාපනයෙන් අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු 1977 දී උපාධිය ලබයි. 1981 දී හාවර්ඩ් සරසවියෙන්ම තම එම්.බී.ඒ. උපාධිය සම්පූර්ණ කර ගන්නා ඔහු එම වසරේම මහින්ද්‍රා ආයතනයේ උප සමාගමක් වන මහින්ද්‍රා යූජින් ස්ටීල් සමාගම සමග එක්වන්නේ එහි මූල්‍ය අධ්‍යක්ෂගේ විධායක සහායකයෙකු ලෙසයි. 1989 දී එහි සභාපති සහ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට පත්වන හේ 1991 අප්‍රියෙල් 4 වැනිදා මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තනතුරින් පිදුම් ලබයි.

මහින්ද්‍රා සහ මහින්ද්‍රා හී පසුබිම් කතාවද ඉතා රසවත් එකකි. ආනන්ද් ගේ මුත්තණුවන් විසින් 1945 දී යකඩ අලෙවි ආයතනයක් ආරම්භ කරන්නේ ඔහුගේ සහෝදරයා සහ මිතුරකු වන ගුලාම් මොහමඩ් සමගය. 1947 ඉන්දියානු නිදහස් දිනය දාට පසුදා මොහමඩ් ආයතනය හැරයන්නේ පාකිස්ථානයේ පළමු මුදල් ඇමැතිවරයා වශයෙන් වැඩ භාරගැනීම සඳහායි. එනයින් සහෝදරයෝ දෙදෙන තම සමාගම මහින්ද්‍රා සහ මහින්ද්‍රා ලෙස නම වෙනස් කළහ.

ඔවුන්ගේ වානේ සමාගම අලෙවියේ සිට නිෂ්පාදනය දක්වා විතැන් වන්නේ ඉන්දීය වෙළෙඳපොළට විලී ජීප් (Willy Jeeps) රථ එකලස් කිරීමේ බලපත්‍රය නතු කරගනිමිනි. 1963 දී International Harvester සමාගම සමග බද්ධ ව්‍යාපාරයකට එළඹෙන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම අන්තර්ජාතික ට්‍රැක්ටර් සමාගමක් ඇරඹීමට කටයුතු කරයි. නමුත් 1971 දී ඔවුන් හා වූ හවුල නිමවෙයි.

1990 මුල් භාගයේදී ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන් ආර්ථිකය ලිබරල්කරණය කිරීමට ඉන්දියානු ආණ්ඩුව තීරණය කරයි. ඒ සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කරන්නට යෙදුණු අතර, ඉන්දියාව විදේශ වෙළෙඳ සහ ආයෝජනය සඳහා විවෘත කිරීම, පුද්ගලිකකරණය, පාලන සීමා සහ නීතිරීති ලිහිල් කිරීම සහ බදු ප්‍රතිසංස්කරණය ඉන් කිහිපයකි.

මේ වෙනස්වීම් සමග පවුල් සමාගමේ සේවා සංස්කෘතිය වෙනස් කරනවාද නැත්නම් රට මුහුණදෙන නව ජාත්‍යන්තර තරගකාරිත්වය හමුවේ පසු බසිනවාද යන්න මහින්ද්‍රා තීරණය කළ යුතු විය. සාම්ප්‍රදායිකව දීවාලි උත්සවය වෙනුවෙන් ආයතනය විසින් ලබාදෙන ප්‍රසාද දීමනා වහාම ක්‍රියාත්මක වන පරිදි ඵලදායිතාව සමග සම්බන්ධ විය යුතු වග ඔහු දැනුම් දුන්නේය. සේවකයෝ තම ඵලදායිතාව ඔප්පු කළ යුතු විය. මහින්ද්‍රා වහා සේවක ප්‍රජාව ඇමතීය. ඔවුන් කැමති වුවත්, නැති වුවත් ඉදිරියේදී නොමිලේ දිවා ආහාර ලබා දීමක් සිදු නොවන බව ඔහු පැහැදිලි කළේය.

වෙනස සිදුවිය. පැරණි සේවා පද්ධතිය තුළ 1200කට අධික පිරිස දිනකට එන්ජින් 70 ක් නිපදවූ අතර, 1994 වන විට 760ක් වූ සේවක පිරිසට දිනකට එන්ජින් 125ක් නිපදවිය හැකි විය.

ලෝකයේ ප්‍රමුඛතම ඔටෝමෝටිව් නිෂ්පාදකයන් සමග තරග කිරීම සඳහා තම සමාගම ලෝකව්‍යාප්ත කිරීමට මහීන්ද්‍රා කටයුතු කළේය. 1995 දී මහින්ද්‍රා ෆෝර්ඩ් ඉන්දීය සමාගම නිර්මාණය කිරීම සඳහා මහින්ද්‍රා සමාගම ෆෝර්ඩ් මෝටර් රථ සමාගම සමග 50 ට 50 බද්ධ ව්‍යාපාරයකට එළැඹිණ. එම බද්ධ ව්‍යාපාරය සිතූ පරිදි සාර්ථක නොවූ අතර, ඔවුන්ගේ පළමු නිෂ්පාදනය වන, the Ford Escort අලෙවිය දුර්වල වූයේ වසර 5 කට පසු එය නවතා දමන්නට සිදුවෙමිනි.

බද්ධ ව්‍යාපාරයේ වැඩි අයිතිය ෆෝර්ඩ් වෙත පැවරුණු අතර, 1998 දී ඔවුන් තම අයිතිය 72% දක්වා ඉහළ නැංවූ අතර, සමාගමේ නම ෆෝර්ඩ් ඉන්දියා පුද්ගලික සමාගම ලෙස වෙනස් විය. නූතන මෝටර් නිෂ්පාදනයට නොගැලපෙන ක්‍රියාවලියක් ලෙස මහින්ද්‍රා මේ ක්‍රියාවලිය දුටුවේය.

ඉදිරියට.................

Monday, February 11, 2019

ඔයාට නැහැනෙ, ඔයාට බැහැනෙ? ඔයා ඉන්නෙ සතුටින්ද? ඒත් මිනිස්සු ජීවත් වෙන්නෙ ආත්ම තෘප්තියත් එක්ක

මම බෙදාගන්න යන්නෙ සටහන් 03ක්. මේ සටහන් තුන ගලපගන්න විදිය ඔබට බාරයි. මම ලියන්නෙ පුංචි පූර්විකාවක් විතරයි.


පළවෙනි එක " මිනිස්සු සතුටුවෙන්නෙ තමන්ට තියෙන දෙයක් තව කෙනෙකුට නෑ කියලා උලුප්පලා දක්වන ගමන්" ඒක ඇත්තටම පුංචි කාළෙ වගේ සිඟිති ආතල් එකක්. එහෙමත් නැත්නම් තමන්ට පුළුවන් දෙයක් තව කෙනෙකුට බෑ කියලා හුවා දක්වලා ලබන ආස්වාදයක්.


  1. ඔයාට නෑනේ - ඔයාට බැහැනෙ

"මෙච්චර ලොකු කාර් එකක් ඔයාට නෑනේ"

"ඔයාගෙ කාර් එක ලොකු වුණාට ලයිට් පත්තු වෙන්නෙ නෑනේ"

"ලයිට් පත්තු වුණාට ඕකෙ පිටිපස්සෙ රෝදයක් හයිකරලා නෑනේ"

වයස අවුරුදු 3-5 අතර වයස් සීමාවල දරුවන් අතර මෙවැනි දෙබස් අසන්නට ලැබේ.හේතුව දරුවන්ගේ මමත්වය වැඩිම කාල සීමාව මේ කාලයයි.මේ කාලයේදී දරුවන් සිතන්නේ ලෝකයේ සෑම දෙයම තමා වෙනුවෙන් නිර්මාණය වීඇති බවත් තමාට මුලු ලෝකයම අයත් බවකි.මේ තත්වය දරුවා වැඩෙත්ම ක්‍රමයෙන් තුනී වී යයි.මාපියන් මේ අවධියේදී දරුවාගේ මනෝ සමාජීය වර්ධනයට පිටු බලයක් විය යුතුය.

මේ කියන්නට යන්නේ,අපේ වචනයෙන් කිවහොත් ඔන්න ඔය මුල් ළමා විය හරියාකාරයෙන් සංවර්ධනය වී නැති පුද්ගලයන් ගැනය.එ වැනි පුද්ගලයන් මේ ලෝකගෝලයේ,විශේෂයෙන් ලංකා දූපතේ නිතර හමුවේ.ඔවුන් පූර්ව ළමා විය සංවර්ධනය නොවීමේ ලක්ෂණ ආකාර කිහිපයකින් පෙන්වයි.

"අනේ ඔයා තාම බැන්දෙ නැද්ද?

මට නං ඔය වෙනකොට දෙවෙනි බබත් ලැබිලා."

"ඔයාට තවම ඔච්චරද හම්බ වෙන්නේ?"

"අනේ කලුවෙලා,කෙට්ටු වෙලා,ඇදිලා ගිහිල්ලා"

"අම්මෝ මහත්වෙලා තියන තරම් ඉස්සර කොහොම හිටිය කෙනෙක්ද?ආරෙටද කොහෙද මම නම් මහත් වෙන්නෙ නෑ"

"අපෝ කාමර දෙකද තියෙන්නේ.අපි නම් හොඳ ආකිටෙක්චර් කෙනෙක්ට කියලා ප්ලෑන් කරේ.පර්චස් අට වුණාට කාමර හතරක්"

"අපේ හස්බන්ඩ් නම් ඉගෙන ගන්න චාන්ස් එක දීලා තියෙන්නේ.ඔයා ගෙදරමයි නේද?පව් අප්පා".

"මට නම් ඔයාට වගේ වයස පේන්නෑ"

මේ ආදී අට අනූවක් කුණු කන්දල් අවුස්සමින්,මිනිසුන්ගේ "රිදෙන තැන්" ටච් කිරීමේ විශේෂ හැකියාවක් උක්ත පුද්ගලයන්ට ඇත.

ඔවුන් සිටින්නේ සතුටින්ද?නැත

ඔවුන් සෑම විටම අනෙකා සමග තමා සන්සන්දනය කරමින් සිතින් දුක් වෙයි.ඔවුන් අපිට නොකියා කියන්නේ අපිත් ඔවුන් සිතන අයුරින්ම සිතිය යුතු බවකි.

මෙවන් පුද්ගලයන් නිසා ජීවිතයේ කවර දිනක හෝ සිත් රිදවීම් ඇති කරගෙන ඇත්නම්,සිතන්න,සිත රිදවා ගැනීම නොවේ,කළ යුත්තේ එබඳු පුද්ගලයන් ට අනුකම්පා කිරීමය.

(මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.)

දෙක. අපි කවුරුවත් ජීවත්වෙන්නෙ සතුටින් නෙමෙයි. අපි සතුටින් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නුවට අපේ ජීවිතවල යම් හිස්තැනක් ගැන අපි වදවෙනව ඕන තරම් හිතට දැනිලා ඇති. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඒකලු. අපිට තියෙන දේට වඩා නැති දෙයක් ගැනත්, ඉන්න කෙනාට වඩා නැති කෙනෙක් ගැන අපි වදවෙනවද නැද්ද?

       2. ඔබ ඉන්නෙ සතුටින්ද?

"තිරිසන් සතුන් කෑමට ප්‍රමාණවත් ආහාර ලැබී නිරෝගීව සිටින තාක් කල් සතුටින් ජීවත් වෙති. මිනිසුන් ද එසේ විය යුතු යැයි කෙනෙකුට හැඟෙන්නට පුළුවන. එනමුත් නූතන ලෝකයේ ජීවත්වන මිනිස්සු එසේ නොවෙති. යටත් පිරිසයෙන් ඔවුන්ගේ බහුතරය ජීවත් වන්නේ සතුටින් නොවේ. ඔබ ජීවත්වන්නේ සතුටින් නොවේ නම් මේ අදහස සමග ඔබ එකඟ වනු ඇත. එවිට ඔබ ඒ තත්ත්වයෙන් වෙනස් වූ පුද්ගලයෙක් නොවන බව ඔබට හැඟෙනු ඇත.

ඔබ ජීවත්වන්නේ සතුටින් නම් ඔබේ මිතුරන්ගෙන් කී දෙනෙක් සතුටින් ජීවත් වන්නේ දැයි සිතා බලන්න. ඔබේ මිතුරන් පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු පුද්ගලයන්ගේ මුහුණුවරින් පිළිඹිබු වන හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. එදිනෙදා ජීවිතයේදී ඔබට හමුවන පුද්ගලයන්ගේ මනෝභාව කෙරෙහි අවධානය යොමු කරන්න. එවිට අසතුට යනු විවිධ ස්වරූපවලින් බහුලව පවතින තත්ත්වයක් බව ඔබට පෙනී යනු ඇත."

(The Conquest of Happiness -  Bertrand Russell)
පරිවර්තනය : කේ.ඒ.එන්. පෙරේරා


තුන. සමහර මිනිස්සු ඉන්නවා තෘප්තිමත් වෙන්නෙ ලෝකයේ බොහෝදෙනා තෘප්තිමත් දේවල් වලින් නෙමෙයි. එහෙමත් නැත්නම් පොඩි දේවල් වලින් ලොකු තෘප්තියක් ලබනවා. 'ලොකු' 'වටිනා' හෝ 'කුඩා' මොන දේට කැමති වුනත් මිනිස්සු ඔක්කොම ජීවත්වෙන්නෙ ලොකු හෝ පොඩි තෘප්තියක් එක්ක. ඒකට කියන්නෙ ආත්ම තෘප්තිය. ඒක නැතුව මිනිස්සු ඉන්නෙ සතුටින් නෙමෙයි.

      3. මිනිස්සු ජීවත්වෙන්නෙ ආත්ම තෘප්තියත් එක්ක

ගාල්ලේ එක්තරා විශාල වෙළෙඳසැලක් හොරු කඩනකොට එහි සේවකයෙක් ඔවුන් එක්ක පොර බදලා පිහි පාරවල් දෙකකින් තුවාල වෙනවා. ඒ කඩහිමියා පසුව ඔහුට ලක්ෂ 3 ක් වටින, තමන්ගෙ කරේ තිබුණ මාලය දෙනවා. ඒක දෙනකොට ඔහු අහලා තිබුණා මගේ මේ තුවාලෙ වටිනාකම මේ මාලයද? කියලා.

වෙළෙඳසැල් හිමියා ඔහුගෙන් සමාව අරන් තිබුණා. සේවකයා ඉල්ලලා තිබුණේ ඔය පපුවේ ඇතුලේ ඉන්න මනුස්සයා මරන්නේ නැතුව තියාගන්න මහත්තයෝ කියලා විතරයි!

මිනිස්සු ජීවත්වෙන්නෙ ආත්ම තෘප්තියත් එක්ක!

(මුහුණු පොතෙන් කළ උපුටා ගැනීමකි)


කළින් කිව්වා වගේ සටහන් ගළපාගැනීම ඔබ සතුයි. ඒත් මම මේක ලියලා ඉවරකරද්දි මට දැනුණු හැඟීමම ඔබටත් දැනෙන්න ඇති කියලා මගේ හිත කියනවා.

උදාර. එස්. සී. විලත්ගමුව



Saturday, February 2, 2019

හොඳ වෘකයා සහ නරක වෘකයා

ඇමරිකානු ස්වදේශී පුරවැසි චෙරොකී [Cherokee] මහළු ගෝත්‍රිකයෙකු හා ඔහුගේ කුඩා මුණුබුරා අතර සිදුවූ සංවාදයක් මානව චින්තන සන්තානයේ ඇතුලාන්තය විවර කර පෙන්වයි.

කඳුකරයේ සැඟවී ගිය කුඩා ගෝත්‍රික ගම්මානයක් රාත්‍රී සීතලෙන් වෙලී තිබුන. අඳුරු තුරු හිස් මතින් ඈත ආකාශයේ බොඳ වී ගිය සිතුවමක් විලාසයෙන් පූර්ණ චන්ද්‍රයාගේ ජායාව බැබළෙමින් පැවතුනා.
තමන්ගෙ ලෙන තුලින් එලියට විත් කදු පාමුල විවෘත භූමියේ දල්වන ලද ගිණි මැලයක උණුසුම විදිමින් සිටින මහළු සීයා කෙනෙක් ඔහු අද්දරින්ම වාඩිගෙන හිටපු තමන්ගෙ මුණුබුරාගෙන් මෙහෙම ඇහැව්ව.
"පුතාට ඇහෙනවද කන්දෙ කැලේ වෘකයන් කෑ ගහන සද්දෙ. දඩයමේ යද්දි අපි නොසෑහෙන්ට පරිස්සම් වෙන්න ඕනෑ ඔය සත්තුන්ගෙන්. වෘකයා කියන්නෙ බොහෝම දරුණු සතෙක්. ඒ හින්දම තමයි අපි තනියෙන් දඩයමේ නොයා පිරිසක් වශයෙන් කැලේට වදින්නෙ.
නමුත් ඔය අතරෙ හොද වෘකයො නැත්තෙමත් නෑ. ඒ වගේ උන් මිනිස්සුන්ව දැක්කම පාඩුවෙ අහක බලාගෙන යනව. එහෙම නැතිනම් ඇසිල්ලකින් කැලේ තුලට අන්ත්‍රස්ධාන වෙනව.”
දසත දැවටෙන හීතල අතරෙ ගිණිමැලයෙ රස්නයෙන් උණුහුම ලබන පොඩිත්තා ඈත කදුකරයෙ අදුරු ඉසව් දිහා සිය නෙත් යොමාගෙන ඉන්නෙ සීයගෙ කතාන්දරය අහල ධ්‍යානයකට සමවැදුන වගේ. සමහර විටෙක භයානක වෘකයෙකුගෙ උල් දත් මුණුපුරාගෙ හිතේ චිත්තරූප මැවුන වෙන්නත් පුළුවන්.
ඉදිරිපසින් දිස්වන අන්ධකාර අවකාශයෙන් සිය දෑස් ගිණි මැලය දෙසට යොමු කල මහළු චෙරොකි ගෝත්‍රිකයා තවත් කල්පනාකාර නිමේශයක් ගත කලා. රන්වන් පැහැ ගිණි දළු දෙස අවධානය යොමුකර ගෙන සිටි ඔහුගේ දෑස් ගිණි පුළිගු සේ දීප්තිමත් උනා.
“උඹ දන්නවද පුතේ ... අපේ ඇග ඇතුලෙත් වෘකයො දෙන්නෙක් ඉන්නව. එකෙක් ආදරය, කරුණාව, දයාව, සතුට ආදී උතුම් ගුණාංගයන්ගෙන් පිරිල. අනිකා ක්‍රෝධය, ද්වේශය, පළිගැනීම, කේන්තිය වාගේ දුර්ගුණයන්ගෙන් වැහිල. මුන් දෙන්න හැම වෙලාවෙම අපි හැමෝගෙම ඇතුලාන්තයෙ සටන් කරනව.
ඔව් ඒක මහ දරුණු සටනක් ... ”
පොඩිත්තට අහන්න ප්‍රශ්නයක් තිබුන. ඒක සියවස් ගණනාවක් මිනිස් වර්ගයාට සෙත සලසවපු ප්‍රශ්න කිරීමක්.
"එතකොට සීයෙ දිනන්නෙ මොන වෘකයද?"
මහළු චෙරොකි ගෝත්‍රිකයා සරළ කෙටි උත්තරයක් ලබා දුන්න. සකල ලෝක වාසී මනුෂයන්ට සිය ජීවිතයේ අභ්‍යන්තර අරගලයට දිශානතියක් එක් කරපු ඒ වදන් අනාගත ලෝකයට සිතුවිලි ද්වාරයක් විවෘත කලා.
"අපි කන්න දෙන වෘකය තමයි පුතේ සටන දිනන්නෙ ..."
[ලෝකයේ යහ පැවැත්ම වෙනුවෙන් ශම්බාලා සෙන්පතියන් බිහිකිරීම සදහා 2019 ජනවාරි මස දින තුනක් මුළුල්ලේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ සංස්කෘතික නුවණ වැඩමුළුව අතරතුරදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් වෙතින් උගත් කතාන්දරයක් ආශ්‍රයෙනි.]
තිළිණ හිරිපිටිය
2019-01-31

Wednesday, January 30, 2019

ලීනාට පෙම් බැඳි සියවසේ ප්‍රාඥයා

සියවසේ ප්‍රාඥයා යන හැඳින්වීම ලද මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ආදරය දිනූ  ලීනා කවරෙක්ද?

ඔහු දිනෙක සාපේක්ෂතාව පිළිබඳ සිද්ධාන්තය වැඩි දියුණු කරන තැනැත්තා විය හැකිව තිබිණි. එසේම එතෙක් මෙතෙක් ලියැවුණු වඩාත් ප්‍රකටම සමීකරණය වූ   e=mc 2 හි නිර්මාර්තෘ විය හැකිව තිබිණි. එසේත් නැතිනම් ඔහු නූතන ක්වොන්ටම් සිද්ධාන්තයට පදනම දැමූ සහ ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනාගත් තැනැත්තා විය හැකිව තිබිණි. මේ සියල්ලම නිසා ඔහු ‘ලොව විශිෂ්ටතම බුද්ධිමතා’ යනුවෙන් හැඳින්වීමට ද හැකියාව තිබිණි. එහෙත් එල්සා අයින්ස්ටයින් තම හිතවතියකට ප්‍රකාශ කළේ ඇය, තමාගේ කඩවසම් ඥාතියා වූ ඇල්බට්ට ආදරය කළේ තරමක් වෙනස් හේතුවක් නිසා බවයි. “ඒ එයා වයලීනයෙන් මොසාට්ගේ සංගීත ඛණ්ඩ ලස්සනට වාදනය කරන නිසා”

එසේත් නැතිනම් එය එතරම් වෙනස් හේතුවක් නොවීමටද පුළුවන. සංගීතය යනු අයින්ස්ටයින්ගේ විෂයයට බෙහෙවින් දුරස් වූවක් විය. එහෙත් ඔහුගේ සිතිවිලිවල සහ ඔහු කළ සියලු දේවල කේන්ද්‍රය වූයේ එයයි.
 “එයාගේ සිද්ධාන්ත ගැන හිතන වෙලාවට සංගීතය එයාට උදව් වුණා” 1919 දී ඔහුගේ දෙවැනි බිරිය බවට පත් වූ එල්සා පැවසුවාය.” එයා එයාගේ අධ්‍යයන කටයුතුවලට යනවා. ආපහු එනවා. පියානෝ එකෙන් ස්වර කීපයක් වාදනය කරනවා. මොනව හරි කෙටි සටහනක් යොදාගෙන ආපහු එයාගෙ වැඩේට යනවා.”




තමා විද්‍යාඥයකු නොවුණා නම්,නිසැකවම සංගීතඥයකු වන බව මේ ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයා වරක් පවසා තිබිණි.
 “සංගීත වාදනයෙන් තොර ජීවිතයක් ගැන මට නම් හිතාගන්නවත් බැහැ” ඔහු පැවසුවේය. “මගේ දවල් හීන ජීවත් කරවන්නෙ සංගීතයයි. සංගීත ඛණ්ඩ තුළින් මම මගේ ජීවිතය දකිනවා. “සංගීතයෙන් මම දැඩි සතුටක් ලබනවා”

එය නියම වශයෙන් ඇවිලවීමට කාලය අවැසි වූ ආදර සම්බන්ධයක් විය. දක්ෂ පියානෝ වාදිකාවක වූ අයින්ස්ටයින්ගේ මව, පෝලීන්, ඔහු වයලීන් වාදනය ඉගැන්වීමට රැගෙන යන විට ඔහු හය හැවිරිදි වියේ පසුවිය. එහෙත් වයස 13 දී ඔහුට මොසාට්ගේ වයලීන් සොනාටා හමුවනතුරු, එම සංගීත භාණ්ඩය ඔහුට කීකරු වූයේ යාන්තමිනි. එම මොහොතේ සිට සංගීතය ඔහුට අත්හළ නොහැකි භාවාවේශයක් බවට පත් විය.
මොසාර්ට් තම ජීවිත කාලය පුරාවටම, අඛණ්ඩව කටයුතු කළේ තම ප්‍රියතම සංයෝජකයා වූ බැච් සමඟිනි. අයින්ස්ටයින්ගේ චරිතාපදාන ලියූ බොහෝ ලේඛකයන් ඉස්මතු කර දක්වන කරුණක් වූයේ බැච්ගේ සහ මොසාට්ගේ සංගීතයේ ඇති සමාන නිර්මලත්වය, සරලභාවය සහ පරිපූර්ණත්වය අයින්ස්ටයින් නිතරම තමාගේ සිද්ධාන්ත වලින්ද බලාපොරොත්තු වූ බවයි. එසේම ඔවුන් සඳහන් කරන්නේ අයින්ස්ටයින් 19 වැනි සියවසේ අගභාගයේ පැවති වැග්නර් වැන්නවුන්ගේ අඩු සංවිධානයක් සහිත වඩා භාවාත්මක සංගීතයට ප්‍රිය නොකළ බවයි.

 “ගොඩාක් තැන්වලදී, මම ඔහුට සවන්දුන්නේ අප්‍රිය බවකින් පමණයි.” අයින්ස්ටයින් වරෙක වැග්නර්ගේ සංගීතය ගැන ජර්මානු සංගීත සංයෝජකයකු සමඟ පැවසීය.

ඒ ප්‍රාග් අයි ටියුන් යුගයේ පවා, අයින්ස්ටයින්ට තම සංගීතය භෞතික ආකාරයෙන් රැගෙන යමේ ‘අමුතු රුදාවක්’ තිබිණි. ඔහු තම දිරාපත් වයලීන් පෙට්ටිය නොමැතිව කොහේ හෝ ගියා නම් ඒ ඉතාමත් කලාතුරකිනි. සැමවිටම එතුළ පැවතියේ එකම භාණ්ඩයද නොවීය. තම ජීවිත කාලය පුරා ඔහු වයලීන කීපයකම හිමිකරුවකුව සිටියේය. එහෙත් වඩාත් කල්පනාකාරීව ඔහු ඒ සෑම වයලීනයකටම යෙදුවේ එකම ආදරණීය නාමයකි. ඒ “ලීනා” යන්නයි. ඔහුගේ ගමන් බිමන්වලදී ලීනාවද රැගෙන යන ඔහු යමෙකුගේ නිවෙසේ පැවැත්වුණ සන්ධ්‍යා ශාලිකා සංගීතයකදී එය වාදනය  කළේය. එසේම ඔහුට සංගීත මිතුරන් බොහෝ දෙනෙක් විය.

1930 දශකයේදී තම මවු රට වූ නාසි ජර්මනියේ වාසය කිරීමට අකැමැති වූ අයින්ස්ටයින් හා එල්සා යුවළ නිව් ජර්සිවල ප්‍රින්සිටන්වල පදිංචි වූහ. එහිදී ඔවුහු සෑම බදාදාවකම රාත්‍රියේ ඔවුන්ගේ නිවෙසේ ශාලිකා සංගීත සම්භාෂණ පැවැත්වූහ. මළවුන්ගේ දිනවල සන්ධ්‍යාවේදී පිටතට පැමිණි ඔහු පූර්ව සූදානමක් නොමැතිවම වයලීනයෙන් ගීත වාදනය කළේය. එසේම නත්තල් සමයේ දී ඔහු වයලීනය රැගෙන කැරොල් කණ්ඩායම් සමඟ එක් විය.



අයින්ස්ටයින්ගේ වාදනය තහවුරු කළ හැකි පටිගත කිරීමක් නොමැති නිසා, ඔහු කොතරම් දක්ෂයෙක් දැයි යන්න අදටත් අඛණ්ඩව විවාදයට තුඩු දුන් කරුණක් බවට පත්ව තිබේ. එක් ඡායාරූපයක ඔහුව දැක්වෙන්නේ බියකරු ලෙසිනි. තම වයලීනය ලිහිල්ව පහළට එල්ලා ගත් ඔහු වයලීන දණ්ඩ ලම්භකව පිරිමැදීම වෙනුවට, ආනතව වයලීනයේ තත් අතර ගෙන යන අයුරු එහි දැක්වෙයි. වයලීන් ගුරුවරයකු භයින් හැකිලවීමට සමත් වැරදි සියල්ලක්ම ඔහු එම වාදනයේදී සිදු කරයි.

යමක් පිළිබඳ හොඳ සිහියෙන් සිටීම පිළිබඳද අයින්ස්ටයින්ට තිබුණේ අපකීර්තිමත් ඉතිහාසයකි. එක් අවස්ථාවක විශිෂ්ට වයලින් වාදක ෆ්‍රිට්ස් ක්‍රෙයිස්ලර් සමඟ සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ඔහු වාදනයට සහභාගී විය. එහිදී ඔහුට තවත් වරක් පිවිසුම වැරදිණි. ඔහු දෙසට හැරුණු ෆ්‍රීට්ස්
 “මොකද වෙලා තියෙන්නෙ, මහාචාර්යතුමා? ඔයාට ගණින්න බැරිද?” යනුවෙන් විමසූ බව සඳහන් වේ.

තවමත්, ලැබෙන සාක්ෂි අනුව එල්සා ඔහුගේ වාදන තත්ත්වය ගැන සෑහීමකට පත්ව නොසිටියා ය. වයස 16 දී, ඇගේ ඥාතියා තම පාසලේදී සංගීත පරීක්ෂණයකට පෙනී සිටියේය.

 “අයින්ස්ටයින් යනුවෙන් හඳුන්වන ශිෂ්‍යයා බිතෝවන්ගේ සංගීත ඛණ්ඩවලින් එකක් පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති කරවන   දක්ෂතා පෙන්වයි.” යනුවෙන් පරීක්ෂකවරයා සටහන් කර තිබේ.

ඊට බොහෝ පසු කලෙක ඔහුගේ මිතුරකු අයින්ස්ටයින්ගේ වාදනය ගැන මෙසේ සටහන් කර තිබිණි.
 “වඩාත් හොඳ තාක්ෂණයක් සහිත සංගීතඥයන් බොහෝ සිටින නමුත්, මම විශ්වාස කරන අන්දමට, ඔහු තරම් අවංක ලෙස එහෙමත් නැතිනම් වඩාත් ගැඹුරු හැඟීමක් ඇතිවන ආකාරයෙන් වයන කිසිවකු නැහැ.” අයින්ස්ටයින් අවසාන කාලය දක්වාම අඛණ්ඩව වාදනයේ නිරත විය. තම වියපත් වම් අතින් තවදුරටත් ඇඟිලි හැසිරවිය නොහැකි බව වැටහී ගිය විට ඔහු ලීනාව පසෙකින් තැබුවේ ය. එහෙත් ඔහු කිසිවිටෙක සංගීතය රස විඳීම අත්නොහැරියේ ය.

1955 අප්‍රේල් මාසයේ සිදු වූ අයින්ස්ටයින්ගේ මරණයෙන් මාස කීපයකට පසු ප්‍රකාශයට පත් වූ ලියැවිල්ලක, එහි ලේඛක ජේරොම් වේඩ්මන් අපූරු රාත්‍රී සාදයකදී අසන්නට ලැබුණු රමණීය ශාලිකා සංගීතයක් ගැන සඳහන් කර තිබිණි. නිහඬ බව තුළ, ඔහු තමා අසල අසුන්ගෙන සිටි මිනිසාට පැවසුවේ සැබැවින්ම තමා බිහිරි වූ බවයි. “ඔයා එන්න මා එක්ක” අයින්ස්ටයින් පැවසුවේ ය. ඔහු දැඩි අප්‍රසාදයකින් වේඩ්මන්ව සංගීත සාදයෙන් පිටතට කැඳවාගෙන ඉහළ මාලයට රැගෙන ගියේ ය.

එහිදී අයින්ස්ටයින් බින් ක්‍රොස්බි, එන්රිකෝ කෲසෝ සහ තවත් කීප දෙනකුගේ ගීත ඛණ්ඩ වාදනය කර පෙන්වීය. ඔහු වේඩ්මන්ට ඒ එක් එක් ඛණ්ඩ ඔහුගේ සවන්වලට පුහුණුවක් ලෙසින් නැවත ගායනා කරන ලෙස බලකර සිටියේ ය.

ඒ ගායනය පිළිබඳ අයින්ස්ටයින් සෑහීමට පත් වූ විට ඔවුහු නැවත පහත මාලයට පැමිණියහ. එහිදී වේඩ්මන් පුදුමයට පත් කරවමින් ඔහුට බැච්ගේ  “Sheep may safely graze”  ගීතය ප්‍රථම වරට හොඳින් ගායනා කිරීමට හැකි විය. ඉන්පසු නිවැසියන් විමසුවේ ඔවුන් දෙදෙනා කොහි ගියේද කියායි.

 “කොයි කෙනාටද හැකියාව තියෙන්නෙ කියල බලන ලොකුම ක්‍රියාකාරකමේ යෙදිල හිටියා.” අයින්ස්ටයින් පිළිතුරු දුන්නේ ය.

මංජුල දිසානායකගේ Sinhala Digest වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි.


Wednesday, January 23, 2019

වොලිබෝල් උපත

වොලිබෝල් ක්‍රීඩාවේ උපන්දිනය යෙදෙන්නේ 1895 පෙබරවාරි මස 9 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේදී ය. අමෙරිකා එක්සත් ජනපදයෙහි හෙලියට් මැසචුසෙට් නගරයේ වාසය කළ YMCA හි (Young Men's Christian Association - තරුණ ක්‍රිස්තියානි සංගමය) ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස (Physical Education Director) කටයුතු කළ විලියම්. ජී. මෝර්ගන් (William G. Morgan) වොලිබෝල් ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ලෙස සැළකෙයි.

ඔහු විසින් විවේක කාලයේදී ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ක්‍රීඩා කිරීම සඳහා හඳුන්වාදුන් මේ ක්‍රීඩාව මුලින් හඳුන්වා තිබෙන්නේ මින්ටොනෙට් (Mintonette) ලෙසිනි. මින්ටොනෙට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් මෝර්ගන්ගේ අරමුණ වී තිබුණේ ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථව ක්‍රීඩා කිරීමට සුදුසු විනෝදාංශයක් නිර්මාණය කිරීමයි.

ඒ වෙනුවෙන් ඔහු ටෙනිස්, හෑන්ඩ්බෝල් සහ බාස්කට්බෝල් ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ද උකහා ගත් අතර, ඒ ක්‍රීඩාව වොලිබෝල් ලෙස වෙනස් කරන්නේ Alfred Halstead නමැති නිරීක්ෂකයාය. 

එක්දිනක් මින්ටොනෙට් තරගයකදී පන්දුව බිම පතිත වන්නට පෙර පහරදීමේ ස්වභාවය (Volleying nature) ඔහුගේ තියුණු නිරීක්ෂණයට හසු විය. මින්ටොනෙට් ක්‍රීඩාව වොලිබෝල් ලෙස ඔහු නම් තබන්නේ එකී නිරීක්ෂණ පදනම් කර ගනිමිනි. ඔහු එදා හඳුන්වාදුන් අලුත් නම මුලදී ලියැවී තිබුණේ වචන දෙකක් ලෙසිනි. අද එය ලියන්නේ තනි වචනයක් ලෙසය.


Tuesday, January 22, 2019

අබිරහසක්වූ ගීසා පිරමිඩ හිඩැස


පැරණි ඊජිප්තුවේ ඒ කියන්නේ මිසරයේ වාස්තු විද්‍යාවේ අරුමය ලෝකෙට කියාපාන කැඩපත තමයි පිරමිඩ කියන්නේ. මෙතුවක් කල් නොනැසී තියෙන මිනිස් නිර්මාණය හැටියට සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඉඳලා කිලෝමීටර් 18ක් දුරින් ගීසා නම් නිම්නයේ පිහිටා තියෙන පිරමිඩ තුනයි. පිරමිඩ කියන්නේ ලෝකයේ පැරණිතම පුදුම හතට අයිති තවමත් නොනැසී තියෙන මිනිස් නිර්මාණයක්.




මිට අවුරුදු 4600කට  ඉස්සෙල්ලා මිසරයේ පාරාවෝ රජවරුන් හැටියට කටයුතු කරපු කූෆු (Khufu) ඔහුගේ පුත්‍ර කාෆ්රේ (Kahfre) මෙන්ම මුණුබුරා වන සැන්කුරේ තමයි තමන්ගේ සොහොන් ගෙවල් පිරමිඩ හැටියට නිර්මාණය කරන්න අණ දීලා තියෙන්නේ. ඒ සියවස තමයි මිසර සංස්කෘතික දියුණුවේ උච්චතම අවස්ථාව.
චියෝෆ් කියන නමින්ද හඳුන්වන කුෆු රජතුමා විසින් හදවපු පිරමිඩය තුලින් තමයි විද්‍යාඥයන් පවා මවිත කරවපු මේ අබිරහස් හිඩැස හමුවෙලා තියෙන්නේ. අබිරහස් වලින් ම පිරිලා තියෙන ගීසා හි මේ සුවිසල් පිරමිඩ අතරට එක්වුණු මේ අබිරහස් හිඩැස නිසා විද්‍යාඥයන් අන්ද මන්ද වෙලා.
පුරා විද්‍යාඥයෝ කියන විදියට මේ පිරමිඩය ඉදිකරලා තියෙන්නේ ක්‍රිස්තු පුර්ව 2509 සිට 2483 අතර කාලය තුලයි. ගීසා නිම්නයේ තියෙන පිරමිඩ තුන අතරින් උසින් වැඩිම පිරමිඩය තමයි මේක. උස මීටර් 140ක්. ඒ කියන්නේ අඩි 460ක්.

මුවොග්‍රෆි (Muogrophy) කියන ස්කෑන් තාක්ෂණය යොදාගෙන ප්‍රංශ සහ ජපාන ජාතික පුරා විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් විසින් මේ පිරමිඩ හිඩැස පිළිබඳ ස්කෑන් පරීක්ෂණය සිදු කරලා තියෙනවා.
මුවොග්‍රෆි කියන්නේ නවීන ජපන් තාක්ෂණික ක්‍රමයක්. මේකෙදි කරන්නේ පෘථිවියට වැටෙන කොස්මික් කිරණ යොදාගෙන ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම. කොස්මික් කිරණ වායුගෝලයට එද්දී, අණුවලට වෙන්වෙනවා. ඒ අතර වන ‘මුවොන්ස්’ අණු , පස්වල තියෙන ඛනිජ ද්‍රව්‍ය මගින් උරාගන්නවා. ඉන් පස්සේ පරාවර්තනය කරනවා. පරාවර්තනයක් වෙන්නේ නැත්නම් එතැන තියෙන්නේ හිස් අවකාශයක්. ගීසා පිරමිඩය ඇතුලේ සිදුරක් තියෙනවා කියලා හොයාගත්තේ ඒ අනුවයි.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අබලන් වෙලා විකිරණ කාන්දුවීමක් සිදුවුණා. ඊට හේතුවුනේ සුනාමිය සහ භුමි කම්පා. ඒ ගැන පරීක්ෂණ සිදුකිරීමටත් උඩ කියපු ස්කෑන් තාක්ෂණය යොදාගෙන තියෙනවා.
පර්වත, බිම් පෙදෙස් වගේම අයිස් තට්ටු අතර ස්කෑන් පරික්ෂා සුදුකිරිමටත් මේ නවීන තාක්ෂණය එක සේ පාවිච්චි කරනවාලු.

කුෆු රජුගේ පිරමිඩය ඇතුලෙන් හිඩැස් දෙකක් සොයාගෙන තියෙනවා. එකක් විශාලයි. ඊට පහලින් තියෙන සිදුර උඩ එකට වඩා කුඩයි.

මේ හිඩැස මොන අරමුණකින් නිර්මාණය කළාද කියලා තාමත් හොයාගෙන නෑ. මේක ඇතුලේ අබිරහස් දෙයක් තැන්පත් කරලා තිබුනද දන්නේ නෑ. මේ හිඩැස නිකම්ම හිඩැසක් ද නැත්නම් වටිනා මොනවහාරි තියෙනවා ද දන්නෙත් නෑ. ඒක හොයාගන්න බැරි, පිරමිඩයට හානියක් නොකර ඒ ගැන දැනගන්න බැරි නිසා.

මේ අවකාශය නිර්මාණය කරලා තියෙන්නේ පිරමිඩය ඇතුලේ පීඩනය නැති කරන්න හෝ මුදා හරින්න වෙන්න පුළුවන් කියලා වාස්තු විද්‍යාඥයන් කියනවා. හැබැයි ඒක මේ වන තෙක් තහවුරු කරලා ඔප්පු කරලා නෑ.

මේ පිරමිඩයටම කියනවා මහා පිරමිඩය කියලත්. ගීසා නිම්නයේ හදපු පළවෙනි පිරමිඩයත් මේක. මුල්ම කාලේ මේකේ උස අඩි 481ක් වුනාලු. දැන් මේකේ මුදුන කැඩිලා ගිහිල්ලා. 14 වෙනි සියවස වෙනකන්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වුනේ කුෆු රජ්ජුරුවන්ගේ මේ මහා පිරමිඩය. මේකේ පාදම අක්කර 13ක්. ඒ කියන්නේ හෙක්ටයාර 5.3ක්. පැත්තක දිග විතරක් මීටර් 230ක්. නැත්නම් අඩි වලින් 756ක්.

කාෆ්රේ රජුගේ පිරමිඩය, පිය රජු වෙච්ච කුෆු ගේ පිරමිඩයට වඩා උසින් අඩුයි. මුණුබුරු සැන්කුරේගේ පිරමිඩය ඊටත් වඩා පොඩියි. කුෆු රජුගේ  පිරමිඩයට වඩා අඩි දහයක් උසින් අඩුවෙච්ච  කාෆ්රේ රජුගේ පිරමිඩයත්, මීටර් 66ක් වෙච්ච සැන්කුරේ රජුගේ පිරමිඩයත් එක ළඟින් නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනෙකුත් රාජකීයයන් හා නෑයන් වෙනුවෙන් පිරමිඩ සමුහය ළඟින්ම කුඩා දේවාල හා සොහොන් ගෙවල් හදලා තියෙනවා. ග්‍රීක ජාතිකයන් විසින් ගීසා හි මෙම අනගි පිරමිඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුම හතට ඇතුලත් කළා.

මහා පිරමිඩය හදන්න මිසර වැසියන් හා වහලුන් 100000 දෙනෙකුගේ සේවය ලබාගෙන තියෙනවා. ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස්ට අනුව මේ පිරමිඩය ඉදිකරන්න අවුරුදු විස්සක් ගතවෙලා තියෙනවා. හුණුගල් කුට්ටි මිලියන 2.3ක් යොදාගෙන තියෙනවා. මේ එක ගල් කුට්ටියක් ටොන් 2.5ක් විතර බරයි. මේ ගැන සඳහන් වෙන්නේ හෙරඩෝටස්ගේ අවුරුදු 2400ක් විතර පරණ ලේඛණවලින්.

පිරමිඩ හදන්න පාවිච්චි කරපු ගල් කුට්ටි ගීසා නිම්නයේ වෙන කොහෙවත් දකින්න ලැබෙන්නේ නෑ. ඒවා තියෙන්නේ සැතපුම් දහස් ගාණක් දුර නයිල් මිටියාවතේ පහළ තියෙන ගල් වලවල්වල. මේ හුණුගල් කුට්ටි පිරමිඩ හදපු තැන්වලට ගෙනල්ලා තියෙන්නේ පහුරුවලින් ලු. පිරමිඩ හදන්න හුණුගල් ප්‍රවාහනය කරපු හුණු ගල් නිධි කිහිපයක්ම පුරා විද්‍යාඥයෝ විසින් හොයාගෙන තියෙනවා.

පිරමිඩ ඉදිකරන්න ප්‍රධාන හේතුව තමයි පාරාවෝ රජවරුන්ගේත්, ඔවුන්ගේ පවුල්වල අයගෙත් මළ සිරුරු මමිකරණය කරලා ආරක්ෂිතව තැන්පත් කරන්නයි, ඔවුන්ගේ වස්තු සම්බාරය නිදන් හොරුන්ගෙන් බේරගන්නයි. මෙහෙම මළ සිරුරු මමිකරණය කරන්න පැරණි මිසර වැසියන් පෙළඹුණේ මරණින් මතු ජිවිතයක් ගැන ඔවුන් තදින්ම විශ්වාස කරපු නිසා. ඒ හින්දා මියගිය සිරුරු ආරක්ෂිතව තියාගන්න ඔවුන් හුඟාක් මහන්සි වුනා.

පිරමිඩ ඉදිකරන්න තෝරාගත්තේ නයිල් ගංගා නිම්නයේ බටහිර පැත්ත. මළවුන්ගේ නිවහන ඇත්තේ හිරු බැස යන දිසාවේ කියලා මිසර වැසියන් විශ්වාස කිරීම ඊට හේතු වුනා. මළ සිරුරු තැන්පත් කරන කුටි තිබ්බේ හරියටම පිරමිඩය මැද. දෙපැත්තේ ඉඳලා පිරමිඩය ඇතුලට එන්න හදපු පටු මංතීරු හැම එකක්ම ඉවර වුනේ මේ කුටිවලින්. මමිකරණය කරපු මළ සිරුරු මේකේ තැන්පත් කළායින් පස්සේ මේ මංතීරු ගල්වලින් වහලා සීල් කරලා තියෙනවා.

අවාසනාවට පාරාවෝ රජවරු බලාපොරොත්තු වෙච්ච විදියට මේවා ආරක්ෂා වෙලා තිබ්බේ නෑ. සියවස් ගණනක් පුරා නිධන් හොරු පිරමිඩ තුලට පැනලා වස්තුව දේපළ මංකොල්ල කෑවා.

පැරණි මිසර වැසියන් සුර්යයා හැඳින්වූවේ ‘රා’ කියන නමින්. සුර්යයා, චන්ද්‍රයා හා අනෙක් ග්‍රහලෝක හා පිරමිඩ අතර සම්බන්ධයක් තියෙනවා කියලා ජෝතිර්වේදීන් මෙන්ම පුරා විද්‍යාඥයින් පවා කියනවා. පාරාවෝ රජවරුන් පිරමිඩ හදන්න පෙළඹුණේ හිරු දෙවියන් වැඳීමේ අරමුණින් කියලත් කියනවා.

මිසරයේ මුල්ම පිරමිඩ හදලා තියෙන්නේ කුෆු රජතුමාගේ පාලනයට සියවස් ගණනාවකට කළින්. පුරාණයේ මිසරයේ ජිවත්වෙච්ච මිනිස්සු වැලි වලවල්වල මළ සිරුරු මිහිදන් කරලා, ඊට උඩින් පිරමිඩ හැඩයට ස්මාරක වැලිවලින් හෝ ගඩොලින් නිර්මාණය කරලා තියෙනවා. මෙහෙම ස්මාරක හදලා තියෙන්නේ මළ සිරුරු වළලපු තැන්වල වැලි හුළගේ ගහගෙන යන එක වලක්වගන්න. මේ ස්මාරක සැළකෙන්නේ ගීසා හි පිරමිඩවල මුල් ආකෘති හැටියටයි. පාදමට මාබල් කුට්ටියක් දාලා පඩිපෙළක් වගේ හදපු ‘පඩි පිරමිඩය’ තමයි පළමු පිරමිඩය විදියට සැළකෙන්නේ. එහි සැලසුම් ශිල්පියා ඉම්හොටෙප්.

ඉම්හොටෙප් කියන්නේ ලෝකේ පළමු විද්‍යාඥයා හැටියටත් සම්භාවනයට ලක්වන මහා පුරුෂයෙක්. අවුරුදු 4950කට කලින් ජිවත්වෙච්ච එතුමාගේ මරණින් අවුරුදු 2000ක් යනකනුත් ඒ වගේ විද්‍යාඥයෙක් ලෝකේ පහළවුනේ නෑ. ඔහු විස්මිත දේ කළ කෙනෙක්. ඒ කතා නිකම්ම ප්‍රවාද නෙමෙයි කියලයි පුරා විද්‍යාඥයෝ කියන්නේ. රෝග සුව කිරීමේ මායා බලයක් එක්ක ජීවත්වුණා යයි කියන මොහු ටෝලමික යුගයේදී හඳුන්වලා තියෙන්නේ වෙදකමට අධිපති ටාග් දෙවියන්ගේ පුතෙක් කියලා.

සෝසර්  කියන පාරාවෝ රජ්ජුරුවන්ගේ ප්‍රධාන උපදේශකවරයා විදියට හිටපු ඉම්හොටෙප් පඬිවරයා රජ්ජුරුවෝ වෙනුවෙන් සකාරා වල ඉදිකරපු මේ පිරමිඩය සකාරා පිරමිඩය කියලත් හඳුන්වනවා. ලෝකේ තියෙන පරණම පිරමිඩය මේක නිසා, මෙහි නිර්මාපකයා සහ ඉදිකිරීම් ශිල්පියා ඉම්හොටෙප් නම් ලෝක ඉතිහාසයේ එවැනි දස්කමක් කළ පළමු තැනැත්තා වෙන්නේ ඉම්හොටෙප්. පාදමේ ඉඳලා මුදුන වෙනකම් පඩි 6ක් විදියට නිර්මාණය කරපු නිසා තමයි මේකට පඩි පිරමිඩය කියලා කියන්නේ.

කුෆු පිය රජුගේ පුත්‍රයා වෙච්ච ස්නෙෆ්රූ රජුත් හරිම සුමට බිත්ති තියෙන පිරමිඩ කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒවායින් එකක් තමයි ‘ඇලවුණු පිරමිඩය’ කියන්නේ. මේක පේන්නේ ඇලවෙලා වගේ. එකේ එක පැත්තක් අනෙක් පැත්තට වඩා කුඩාවට තමයි හදලා තියෙන්නේ . ඒකයි හේතුව. මේ වගේ රජවරුන් හදපු පිරමිඩ 80ක් විතර මිසරයෙන් හමුවෙලා තියෙනවා.

ඒත් ඒ කිසිම එකක් ගීසා හි පිරමිඩ ත්‍රිත්වය එක්ක සම කරන්න බෑ. ඒ පිරමිඩවලින් බොහොමයක්ම දැන් විනාශවෙලා හෝ නටබුන්වෙලා ඉවරයි.

නොබෙල් සාම ත්‍යාගය දිනූ ඉරාක තරුණිය

2018 නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ දෙදෙනෙකුට සම සමවය. එක් අයෙක් කොංගෝවේ නාරිවේදය පිළිබඳ විශේෂවේදී වෛද්‍යවරයෙකු වන ඩෙනිස් මුක්වේගේය. කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම උදෙසා ඔහුට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. 
අනෙකා නාදියා මුරාද් ය. ඈ අපේ කතා නායිකාවයි. මේ ඇගේ කතාවයි.

1993 දී උපත ලද නාදියා මුරාද් ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය ඉරාකයේ යදිසි ගෝත්‍රික යුවතියකි. යදිසි යනු ඉරාකයේ සුළු ජාතික ජන කොටසකි. ඈ දිවි ගෙවූ දුෂ්කර පරිසරය, සමාජ පසුබිම, උගත්බවෙන් අඩුකම, දරිද්‍රතාව මඬිමින් සිතේ දිරිය පමණක්ම සහිතව මේ ආ දිගු ගමන සිතා ගන්නටවත් නොහැකි සත්‍ය කතාවකි. 

"නදියා මුරාද් යනු යුද අපරාධවල ගොදුරකි. තමා ගොදුර බවට පත්වීම ලජ්ජාවට පත්ව නිහඬවීමෙන් නිමාකිරීම ඇය ප්‍රතික්ෂේප කළාය. ස්වකීය විඳවීම තුළින් අන්‍යයන්ගේ දුක් පීඩා වලදීත් ඉදිරියට යාමේ දිරිය ඇය පෙන්නුම් කළාය."

 ඒ නොබෙල් කමිටුව ඇයට දුන් හේතු පාඨයට පිවිසුනු හැටිය.

2014 සැප්තැම්බර් මුල අයි.එස්. අයි.එස් ත්‍රස්තයෝ ඇය ජීවත්වූ ගම වටකොට එය ලේ විලක් බවට පත් කළහ. ඇගේ මව, සහ සහෝදරයන් 06 දෙනාම ඝාතනය වූ අතර, ඇය ඇතුළු සහෝදරියන් 06 දෙනාම ජීවග්‍රහයෙන් අල්ලා ගැනිණ. ඇය ඇතුළු අල්ලාගන්නා ලද 6700 ඉක්මවන ස්ත්‍රී ඉරාකයේ අයිඑස් පාලනය ක්‍රියාත්මක වන මොසුල් නගරයට ප්‍රවාහනය කෙරුණේ ලිංගික වහලියන් ලෙසය.

මොසුල් හී ගෙයක රඳවා සිටි කාලය තුළ ඇය ඇතුළු කාන්තාවන්ට ත්‍රස්තයෝ බෙහෙවින් අඩත්තේට්ටම් කළහ. සිගරට් කොළවලින් පුලුස්සා අතින් පයින් පහරදෙන ලදහ. දූෂණය කරන ලද වාර ගණන කිව නොහැකි තරම් වූ අතර ඒවා දරාගත නොහී ඈ ක්ලාන්තව ඇද වැටුණු වාරද බොහෝය.

2014 නොවැම්බර් මාසයේදී වාසනාවකට ඈ ඉන් මිදී පලායන්නට සමත් වූවාය. ඉසිස් බල පෙදෙසින් බැහැර කාරුණික කාන්තාවක් ඇයට උදව් උපකාර කළාය. කෙටි කාලයකට ඇගේ සෙවණේ නැවතී සිට ඉරාකයේ දහුක් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට පැමිණීමට ඇය සමත්වූවාය. එහි කන්ටේනරයක් ඇගේ සුරක්ෂිත නිවහන බවට පත් කරගත්තාය.

ඈ ඇගේ සටන පටන්ගත්තේ එහි සිටය. 2015 පෙබරවාරි මාසයේ තම ප්‍රථම මාධ්‍ය හමුවට ඈ එක්වූයේ බෙල්ජියමේ ප්‍රමුඛතම පුවත්පත වූ 'ල ලිබ්‍රෙ' සමඟය. ඉන් ඇගේ කතාව මුළු ලොවටම නිරාවරණය විය. මේ අතර නිරිතදිග ජර්මනියේ පාලක සභාව ඉරාකයේ කාන්තාවන් 1000 කට රැකවරණය දෙන්නට කැමත්ත පළ කළ අතර ඊට එක්වූ නාදියා ද ජර්මනියේ පදිංචියට ආවාය.

ඇගේ සටන ආරංචි වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් 2015 දෙසැම්බර් 15 දින නාදියාට කැඳවීමක් ලැබිණ. ඒ සභාව ඉදිරියේ අයිඑස් ත්‍රස්තයන්ගේ නිරුවත ලොවටම කියා පෑ නාදියා ත්‍රස්තයන්ගේ මිනිස් ජාවාරම සහ සවායා නම්වූ ලිංගික වහලියන්ගේ විස්තරයක් ද ලොවට හෙළි කළාය. 

ඇගේ සටනේ සහයෙන් සහ ඈට සහය පිණිස බොහෝ දෙනා ඉදිරිපත් වීම විශේෂත්වයකි. අමාල් ක්ලුනි නම් නීතිවේදිනිය මගින් ඇය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ  අයිඑස් සංවිධානයට එදිරිව නඩු පවරන ලද අතර, අයිඑස් සංවිධානය ෆේස්බුක් වැනි සමාජජාලා හරහා ලිංගික වහලියන් වෙන්දේසි කිරීම සිදුකරන බව පෙන්වාදීමෙන් පසු ඇගේ ජීවිතයට වන තර්ජනය දෙගුණ තෙගුණ විය.

 2016 සැප්තැම්බර් මාසයේදී .ඇය ඇරඹූ Nadia's Initiative සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ බ්‍රිතාන්‍ය ජාතික සහ අමෙරිකානු ද්විත්ව පුරවැසි මාධ්‍යවේදිනියක වන ටීනා බ්‍රවුන්‍ ය. වතිකානයට යන නාදියා එහිදී ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැක අයිඑස් ග්‍රහණයේ තවමත් පසුවන යසිඩි ගෝත්‍රිකයන් සහ වෙනත් සුළු ආගමික කණ්ඩායම් ගැනද, ලිංගික වහලියන් ගැනද උන්වහන්සේ දැනුම්වත් කළාය. 

ඇය විසින් රචනා කරන ලද ... නම් ග්‍රන්ථය මගින් ඇගේ කතාව සවිස්තරව කියවිය හැකි අතර එය ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි ඇගේ සටන බව ඇය කියයි.

නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු ඇය කළ කතාව තවත් ලිපියකින්.

එස්. නන්දලාල් මහතාගේ ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී.


උදාර එස්. සී, විලත්ගමුව



Thursday, January 3, 2019

ලෝකේ මෙච්චර කාලෙකට තිබ්බ එපා කරපු රස්සාවල් පහක්



1.       මමිකරණය

මේ රස්සාව තිබ්බේ ඊජිප්තුවේ. මමිකරණය කියන්නේ කෘත්‍රිම ක්‍රමයකට මළ සිරුරු කල්තබා ගැනීමකට. මේ ක්‍රමය ඊජිප්තුව පුරා බොහොම ජනප්‍රිය වෙලා තිබුණා. ඒ දවස්වල මමිකරුවන්ට තිබ්බේ පුදුම ඉල්ලුමක්. මෙහෙම සිරුරු මමිකරණය කරන්න නම් ශරීරයේ තියෙන ඉඳින් ගලවලා අයින් කරන්න ඕන. ඒ වගේම සිරුරෙන් මොළයත් ගලවලා අයින් කරන්න ඕන. මේ පිළිකුල් සහගත අප්‍රසන්න ක්‍රියාව සඳහා සති ගණනක් ගතවෙනවා. සමහර වෙලාවට මාස ගාණක්. මෙහෙම මළ සිරුරු එක්ක ගනුදෙනු කරන හින්දා සාමාන්‍ය සමාජය මමිකරුවන්ව සමාජෙන් කොන් කරලා තිබුණා.

2.       පව් අනුභව කිරීම

පව් අනුභව කිරීමෙන් අරුත් ගන්වන්නේ මිය යමින් ඉන්න මනුස්සයෙක්ගේ ආත්මය පිරිසිඳු කිරීමක්. දහ නව වැනි සියවස තුල මේ චාරිත්‍රය බොහොම පතල වෙලා තිබුනා. බැලු බැල්මට මේ රස්සාව නරක එකක් නෙමෙයි. ඒත් රාජකාරිය විදියට කරන්න තිබ්බ දේ තමයි පිළිකුල් සහගත.
මැරිච්ච මනුස්සයෙකුගේ සිරුර පිරිසිදු කරලා, හැම පවකින්ම ඔහුව හෝ අයව නිදහස් කරන්න නම්, පවුලේ අය විසින් මැරුණු මනුස්සයාගේ ශරීරය මත තියෙන පාන් කැබැල්ල පව් අනුභව කරන්නා විසින් කෑමට ගන්න ඕන. එහෙම කලාම , මියගිය පුද්ගලයාගේ සියලුම පව් වෙනත් කෙනෙක් විසින් අනුභව කළා වෙනවා. ස්කොට්ලන්තය තුල දහ අටවන සහ දහ නවවන සියවස් තුල ඉමහත් ජනප්‍රියව පැවති මේ චාරිත්‍රය, සමාජයේ දුගී දුප්පත්ව වෙසෙන අසරණ මිනිස්සු කොට්ඨාශයක් බිහි කළා. ඔවුන්ව තවත් අසරණ කළේ මෙහෙම පව් අනුභව කරනවාට ඔවුන්ට ගෙව්වේ බොහොම අඩු මුදලක් නිසා. මිනිස්සු විසින්ම පහත හෙලා දමපු ඔවුන්ව අනෙක් මිනිස්සු කැඳවා ගත්තේ කෙනෙක් මැරුණාම විතරයි.



 

3.       කුඩල්ලන් එකතු කිරීම

දහ නව වෙනි සියවස තුල තවත් ජනප්‍රිය රැකියාවක් තමයි කුඩල්ලන් එකතු කිරීම. වෛද්‍ය ප්‍රතිකාරවලට යොදාගැනීම  සඳහා තමයි මෙහෙම කුඩල්ලන්ව එකතු කරලා තියෙන්නේ. මේ රස්සාව කරන මනුස්සයාගේ කාර්යයභාරය වුනේ කුඩල්ලන් වැඩිපුර ඉන්න පැතිවලට ගිහිලා පුළුවන් තරම් කුදල්ලෝ එකතු කරගන්න එක. ගොඩක් විට ඔවුන් කුදල්ලෝ ඇල්ලුවේ තමන්ගේ කකුල ඇමක් විදියට පාවිච්චි කරලා. ඒ කියන්නේ කකුලේ ලේ බොන්න කූදැල්ලා ආවම ඌව අල්ලගන්නවා. මේක හරිම භයානක වැඩක්. දවසකට ලේ පයින්ට් කියක් නම් කුඩල්ලෝ මේ මිනිස්සුන්ගෙන් උරා ගන්නවා ඇතිද?

4.       රජ්ජුරුවන්ගේ පස්ස පිහ දැමීම

අද අපිට මේක හිනායන වැඩක් උනාට , මිට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා මේ රස්සාව බොහොම ගරු කටයුතු රස්සාවක් විදියටයි සළකලා තියෙන්නේ. ඒ දවස්වල රජවරු හිතලා තියෙන්නේ තමන්ගේ පස්ස තමන් විසින්ම පිහගන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලයි. රජ්ජුරුවෝ යන යන තැන වැසිකිලි පුටුව අරගෙන යන එක වගේම රජුගේ වැසිකිළි කටයුත්ත ඉවරවුනාම ඔහුගේ පස්ස පිසින එක පසුපස පිසින්නාගේ රාජකාරිය. ඒ වගේම රජ්ජුරුවන්ගේ මළපහ පරික්ෂා කරලා රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සන එකත් ඒ රාජකාරියේම කොටසක්. තාක්ෂණය දියුණු නැති කාලෙක මේක හාස්‍යජනක රස්සාවක් නෙමෙයි , එපා කරපු හිරිකිත රස්සාවක් නෙවෙයිද?

5.       විපින්ග් බෝයි වැඩේ

උඩ කියපු ඒවා තරම් පිළිකුල් රස්සාවක් නොවුනත් මේක අමානුෂික වගේම එපා කරපු රස්සාවක් වෙන්නේ, පැරණි බ්‍රිතාන්‍යයේ කුමාරවරුන් වෙනුවෙන් කායික දඬුවම් දරාගන්න මේ විපින්ග් බෝයිට සිද්ධවෙලා තිබුණු හින්දයි. කුමාරයාගේ ක්‍රීඩා සහකාරයා වුනු තැනැත්තා තමයි මේ විපින්ග් බෝයි වැඩේ කළෙත්. කුමාරයා හා විපින්ග් බෝයි ගජ මිතුරෝ. කුමාරයා එක්ක එකට ඉගෙනගන්නත් මේ විපින්ග් බෝයිට මුල ඉඳලම අවස්ථාව ලැබෙනවා. ඒත් ඉතින් ගුටි කන්න ගියාම මේ රස්සාව එපා වෙන එක අහන්නත් දෙයක්ද?

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it