Monday, February 11, 2019

ඔයාට නැහැනෙ, ඔයාට බැහැනෙ? ඔයා ඉන්නෙ සතුටින්ද? ඒත් මිනිස්සු ජීවත් වෙන්නෙ ආත්ම තෘප්තියත් එක්ක

මම බෙදාගන්න යන්නෙ සටහන් 03ක්. මේ සටහන් තුන ගලපගන්න විදිය ඔබට බාරයි. මම ලියන්නෙ පුංචි පූර්විකාවක් විතරයි.


පළවෙනි එක " මිනිස්සු සතුටුවෙන්නෙ තමන්ට තියෙන දෙයක් තව කෙනෙකුට නෑ කියලා උලුප්පලා දක්වන ගමන්" ඒක ඇත්තටම පුංචි කාළෙ වගේ සිඟිති ආතල් එකක්. එහෙමත් නැත්නම් තමන්ට පුළුවන් දෙයක් තව කෙනෙකුට බෑ කියලා හුවා දක්වලා ලබන ආස්වාදයක්.


  1. ඔයාට නෑනේ - ඔයාට බැහැනෙ

"මෙච්චර ලොකු කාර් එකක් ඔයාට නෑනේ"

"ඔයාගෙ කාර් එක ලොකු වුණාට ලයිට් පත්තු වෙන්නෙ නෑනේ"

"ලයිට් පත්තු වුණාට ඕකෙ පිටිපස්සෙ රෝදයක් හයිකරලා නෑනේ"

වයස අවුරුදු 3-5 අතර වයස් සීමාවල දරුවන් අතර මෙවැනි දෙබස් අසන්නට ලැබේ.හේතුව දරුවන්ගේ මමත්වය වැඩිම කාල සීමාව මේ කාලයයි.මේ කාලයේදී දරුවන් සිතන්නේ ලෝකයේ සෑම දෙයම තමා වෙනුවෙන් නිර්මාණය වීඇති බවත් තමාට මුලු ලෝකයම අයත් බවකි.මේ තත්වය දරුවා වැඩෙත්ම ක්‍රමයෙන් තුනී වී යයි.මාපියන් මේ අවධියේදී දරුවාගේ මනෝ සමාජීය වර්ධනයට පිටු බලයක් විය යුතුය.

මේ කියන්නට යන්නේ,අපේ වචනයෙන් කිවහොත් ඔන්න ඔය මුල් ළමා විය හරියාකාරයෙන් සංවර්ධනය වී නැති පුද්ගලයන් ගැනය.එ වැනි පුද්ගලයන් මේ ලෝකගෝලයේ,විශේෂයෙන් ලංකා දූපතේ නිතර හමුවේ.ඔවුන් පූර්ව ළමා විය සංවර්ධනය නොවීමේ ලක්ෂණ ආකාර කිහිපයකින් පෙන්වයි.

"අනේ ඔයා තාම බැන්දෙ නැද්ද?

මට නං ඔය වෙනකොට දෙවෙනි බබත් ලැබිලා."

"ඔයාට තවම ඔච්චරද හම්බ වෙන්නේ?"

"අනේ කලුවෙලා,කෙට්ටු වෙලා,ඇදිලා ගිහිල්ලා"

"අම්මෝ මහත්වෙලා තියන තරම් ඉස්සර කොහොම හිටිය කෙනෙක්ද?ආරෙටද කොහෙද මම නම් මහත් වෙන්නෙ නෑ"

"අපෝ කාමර දෙකද තියෙන්නේ.අපි නම් හොඳ ආකිටෙක්චර් කෙනෙක්ට කියලා ප්ලෑන් කරේ.පර්චස් අට වුණාට කාමර හතරක්"

"අපේ හස්බන්ඩ් නම් ඉගෙන ගන්න චාන්ස් එක දීලා තියෙන්නේ.ඔයා ගෙදරමයි නේද?පව් අප්පා".

"මට නම් ඔයාට වගේ වයස පේන්නෑ"

මේ ආදී අට අනූවක් කුණු කන්දල් අවුස්සමින්,මිනිසුන්ගේ "රිදෙන තැන්" ටච් කිරීමේ විශේෂ හැකියාවක් උක්ත පුද්ගලයන්ට ඇත.

ඔවුන් සිටින්නේ සතුටින්ද?නැත

ඔවුන් සෑම විටම අනෙකා සමග තමා සන්සන්දනය කරමින් සිතින් දුක් වෙයි.ඔවුන් අපිට නොකියා කියන්නේ අපිත් ඔවුන් සිතන අයුරින්ම සිතිය යුතු බවකි.

මෙවන් පුද්ගලයන් නිසා ජීවිතයේ කවර දිනක හෝ සිත් රිදවීම් ඇති කරගෙන ඇත්නම්,සිතන්න,සිත රිදවා ගැනීම නොවේ,කළ යුත්තේ එබඳු පුද්ගලයන් ට අනුකම්පා කිරීමය.

(මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.)

දෙක. අපි කවුරුවත් ජීවත්වෙන්නෙ සතුටින් නෙමෙයි. අපි සතුටින් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නුවට අපේ ජීවිතවල යම් හිස්තැනක් ගැන අපි වදවෙනව ඕන තරම් හිතට දැනිලා ඇති. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඒකලු. අපිට තියෙන දේට වඩා නැති දෙයක් ගැනත්, ඉන්න කෙනාට වඩා නැති කෙනෙක් ගැන අපි වදවෙනවද නැද්ද?

       2. ඔබ ඉන්නෙ සතුටින්ද?

"තිරිසන් සතුන් කෑමට ප්‍රමාණවත් ආහාර ලැබී නිරෝගීව සිටින තාක් කල් සතුටින් ජීවත් වෙති. මිනිසුන් ද එසේ විය යුතු යැයි කෙනෙකුට හැඟෙන්නට පුළුවන. එනමුත් නූතන ලෝකයේ ජීවත්වන මිනිස්සු එසේ නොවෙති. යටත් පිරිසයෙන් ඔවුන්ගේ බහුතරය ජීවත් වන්නේ සතුටින් නොවේ. ඔබ ජීවත්වන්නේ සතුටින් නොවේ නම් මේ අදහස සමග ඔබ එකඟ වනු ඇත. එවිට ඔබ ඒ තත්ත්වයෙන් වෙනස් වූ පුද්ගලයෙක් නොවන බව ඔබට හැඟෙනු ඇත.

ඔබ ජීවත්වන්නේ සතුටින් නම් ඔබේ මිතුරන්ගෙන් කී දෙනෙක් සතුටින් ජීවත් වන්නේ දැයි සිතා බලන්න. ඔබේ මිතුරන් පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු පුද්ගලයන්ගේ මුහුණුවරින් පිළිඹිබු වන හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. එදිනෙදා ජීවිතයේදී ඔබට හමුවන පුද්ගලයන්ගේ මනෝභාව කෙරෙහි අවධානය යොමු කරන්න. එවිට අසතුට යනු විවිධ ස්වරූපවලින් බහුලව පවතින තත්ත්වයක් බව ඔබට පෙනී යනු ඇත."

(The Conquest of Happiness -  Bertrand Russell)
පරිවර්තනය : කේ.ඒ.එන්. පෙරේරා


තුන. සමහර මිනිස්සු ඉන්නවා තෘප්තිමත් වෙන්නෙ ලෝකයේ බොහෝදෙනා තෘප්තිමත් දේවල් වලින් නෙමෙයි. එහෙමත් නැත්නම් පොඩි දේවල් වලින් ලොකු තෘප්තියක් ලබනවා. 'ලොකු' 'වටිනා' හෝ 'කුඩා' මොන දේට කැමති වුනත් මිනිස්සු ඔක්කොම ජීවත්වෙන්නෙ ලොකු හෝ පොඩි තෘප්තියක් එක්ක. ඒකට කියන්නෙ ආත්ම තෘප්තිය. ඒක නැතුව මිනිස්සු ඉන්නෙ සතුටින් නෙමෙයි.

      3. මිනිස්සු ජීවත්වෙන්නෙ ආත්ම තෘප්තියත් එක්ක

ගාල්ලේ එක්තරා විශාල වෙළෙඳසැලක් හොරු කඩනකොට එහි සේවකයෙක් ඔවුන් එක්ක පොර බදලා පිහි පාරවල් දෙකකින් තුවාල වෙනවා. ඒ කඩහිමියා පසුව ඔහුට ලක්ෂ 3 ක් වටින, තමන්ගෙ කරේ තිබුණ මාලය දෙනවා. ඒක දෙනකොට ඔහු අහලා තිබුණා මගේ මේ තුවාලෙ වටිනාකම මේ මාලයද? කියලා.

වෙළෙඳසැල් හිමියා ඔහුගෙන් සමාව අරන් තිබුණා. සේවකයා ඉල්ලලා තිබුණේ ඔය පපුවේ ඇතුලේ ඉන්න මනුස්සයා මරන්නේ නැතුව තියාගන්න මහත්තයෝ කියලා විතරයි!

මිනිස්සු ජීවත්වෙන්නෙ ආත්ම තෘප්තියත් එක්ක!

(මුහුණු පොතෙන් කළ උපුටා ගැනීමකි)


කළින් කිව්වා වගේ සටහන් ගළපාගැනීම ඔබ සතුයි. ඒත් මම මේක ලියලා ඉවරකරද්දි මට දැනුණු හැඟීමම ඔබටත් දැනෙන්න ඇති කියලා මගේ හිත කියනවා.

උදාර. එස්. සී. විලත්ගමුව



Saturday, February 2, 2019

හොඳ වෘකයා සහ නරක වෘකයා

ඇමරිකානු ස්වදේශී පුරවැසි චෙරොකී [Cherokee] මහළු ගෝත්‍රිකයෙකු හා ඔහුගේ කුඩා මුණුබුරා අතර සිදුවූ සංවාදයක් මානව චින්තන සන්තානයේ ඇතුලාන්තය විවර කර පෙන්වයි.

කඳුකරයේ සැඟවී ගිය කුඩා ගෝත්‍රික ගම්මානයක් රාත්‍රී සීතලෙන් වෙලී තිබුන. අඳුරු තුරු හිස් මතින් ඈත ආකාශයේ බොඳ වී ගිය සිතුවමක් විලාසයෙන් පූර්ණ චන්ද්‍රයාගේ ජායාව බැබළෙමින් පැවතුනා.
තමන්ගෙ ලෙන තුලින් එලියට විත් කදු පාමුල විවෘත භූමියේ දල්වන ලද ගිණි මැලයක උණුසුම විදිමින් සිටින මහළු සීයා කෙනෙක් ඔහු අද්දරින්ම වාඩිගෙන හිටපු තමන්ගෙ මුණුබුරාගෙන් මෙහෙම ඇහැව්ව.
"පුතාට ඇහෙනවද කන්දෙ කැලේ වෘකයන් කෑ ගහන සද්දෙ. දඩයමේ යද්දි අපි නොසෑහෙන්ට පරිස්සම් වෙන්න ඕනෑ ඔය සත්තුන්ගෙන්. වෘකයා කියන්නෙ බොහෝම දරුණු සතෙක්. ඒ හින්දම තමයි අපි තනියෙන් දඩයමේ නොයා පිරිසක් වශයෙන් කැලේට වදින්නෙ.
නමුත් ඔය අතරෙ හොද වෘකයො නැත්තෙමත් නෑ. ඒ වගේ උන් මිනිස්සුන්ව දැක්කම පාඩුවෙ අහක බලාගෙන යනව. එහෙම නැතිනම් ඇසිල්ලකින් කැලේ තුලට අන්ත්‍රස්ධාන වෙනව.”
දසත දැවටෙන හීතල අතරෙ ගිණිමැලයෙ රස්නයෙන් උණුහුම ලබන පොඩිත්තා ඈත කදුකරයෙ අදුරු ඉසව් දිහා සිය නෙත් යොමාගෙන ඉන්නෙ සීයගෙ කතාන්දරය අහල ධ්‍යානයකට සමවැදුන වගේ. සමහර විටෙක භයානක වෘකයෙකුගෙ උල් දත් මුණුපුරාගෙ හිතේ චිත්තරූප මැවුන වෙන්නත් පුළුවන්.
ඉදිරිපසින් දිස්වන අන්ධකාර අවකාශයෙන් සිය දෑස් ගිණි මැලය දෙසට යොමු කල මහළු චෙරොකි ගෝත්‍රිකයා තවත් කල්පනාකාර නිමේශයක් ගත කලා. රන්වන් පැහැ ගිණි දළු දෙස අවධානය යොමුකර ගෙන සිටි ඔහුගේ දෑස් ගිණි පුළිගු සේ දීප්තිමත් උනා.
“උඹ දන්නවද පුතේ ... අපේ ඇග ඇතුලෙත් වෘකයො දෙන්නෙක් ඉන්නව. එකෙක් ආදරය, කරුණාව, දයාව, සතුට ආදී උතුම් ගුණාංගයන්ගෙන් පිරිල. අනිකා ක්‍රෝධය, ද්වේශය, පළිගැනීම, කේන්තිය වාගේ දුර්ගුණයන්ගෙන් වැහිල. මුන් දෙන්න හැම වෙලාවෙම අපි හැමෝගෙම ඇතුලාන්තයෙ සටන් කරනව.
ඔව් ඒක මහ දරුණු සටනක් ... ”
පොඩිත්තට අහන්න ප්‍රශ්නයක් තිබුන. ඒක සියවස් ගණනාවක් මිනිස් වර්ගයාට සෙත සලසවපු ප්‍රශ්න කිරීමක්.
"එතකොට සීයෙ දිනන්නෙ මොන වෘකයද?"
මහළු චෙරොකි ගෝත්‍රිකයා සරළ කෙටි උත්තරයක් ලබා දුන්න. සකල ලෝක වාසී මනුෂයන්ට සිය ජීවිතයේ අභ්‍යන්තර අරගලයට දිශානතියක් එක් කරපු ඒ වදන් අනාගත ලෝකයට සිතුවිලි ද්වාරයක් විවෘත කලා.
"අපි කන්න දෙන වෘකය තමයි පුතේ සටන දිනන්නෙ ..."
[ලෝකයේ යහ පැවැත්ම වෙනුවෙන් ශම්බාලා සෙන්පතියන් බිහිකිරීම සදහා 2019 ජනවාරි මස දින තුනක් මුළුල්ලේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ සංස්කෘතික නුවණ වැඩමුළුව අතරතුරදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් වෙතින් උගත් කතාන්දරයක් ආශ්‍රයෙනි.]
තිළිණ හිරිපිටිය
2019-01-31

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it