Sunday, August 26, 2012

ලින්කන් කියපු දෙයක්

ඒබ්‍රහම් ලින්කන් විසින් කියන ලද මේ කියමන මනුස්ස වර්ගයා ගේ වැදගත්කම පිණිස නැවත ලියා දක්වමි.

"සෞභාග්‍යය ලඟා කරගත හැක්කේ අරපරෙස්සම අධෛර්යයමත් කිරීමෙන් නොවේ.ශක්තිවන්තයා දුර්වල කිරීමෙන් දුර්වලයා ශක්තිමත් කිරීමක් කළ නොහේ.වැටුප් ගෙවන්නා(ස්වාමියා) ඇද වට්ටවා වැටුප් ලබන්නාට (සේවකයා) උපකාර කළ නොහැකිය.

පන්ති වෛරයට අනුබල දීමෙන්, ඔබට මනුස්සයෙකුගේ සහෝදරත්වයට ආධාර කළ නොහැකිය.පොහොසතෙක් වනසා දුප්පතෙකුට ලැබෙන උපකාරයක්‌ නැත.ඔබ උපයන පමණට වඩා විය පැහැදම් කිරීමෙන් ඔබට කරදර වලින් ගැලවී ගත නොහැක.

මිනිසෙකුගේ මුලාභිප්‍රාය හා ස්වාධිනත්වය ඉවත් කොට ඔහුගේ චරිත සංවර්ධනය හා ධෛර්යය ගොඩ නැගීමට නොහැකිය.ඔහු;  ඔහු වෙනුවෙන් කරගත යුතු දේ හා ඔහුට ඔහු වෙනුවෙන් කරගත හැකිදේ කරන්නට නොදී ,ඔබ ඒවා කරන්නට යාමෙන් මිනිසාට කෙදිනක හෝ ඔබට උපකාර කළ නොහැකිය."




Tuesday, August 21, 2012

ලින්කන් ගේ ලියුම

මේ ලියමන ඉතාම චිර ප්‍රසිද්ධියට පත් ලිපියක්.නොකියවූ අයගේ කියවීම සහ ඇගයීම වෙනුවෙනුත්,කියවූ අයට නැවත කියවීම හා වෙනස් කියවීමක් උදෙසාත් එකී ලිපිය මෙසේ සිංහලට නැගුවෙමි.


ම'පුතු අකුරට යන  මුල්ම දිනය අදයි.එය ඔහුට මොහොතකට අමුතු සහ අළුත් ම දෙයක් වේවි.ඔබ ඔහුට කාරුණිකව සළකනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.එය විශ්වය පුරා ඔහු ගෙන යන පෙර නොවූ විරූ අත්දැකීමක් ද වනු ඇති.නිසැකවම යුද්ධ,ශෝකාන්ත නාට්‍ය,කනස්සල්ලෙන් පිරි චාරිකාවක් වේවි.මේ ජීවිතය ජිවත් කරවන්නට විශ්වාසය,ආදරය, සහ දිරිය අවශ්‍ය වේවි.

ඉදින්..දයාබර ගුරුතුමනි,

ඔහුගේ අතින් අල්ලාගන්න.ඔහු දැනගතයුතු හැම දේ ඔහුට උගන්වන්න,ඔබට හැකි ලෙස කරුණාවෙන්..
හැම සතුරෙකු තුළ ම මිතුරෙක් ද සිටින බව ඔහුට කියා දෙන්න.ඔහු දැනගත යුතුයි, මිනිසුන් හුදෙක් සැබෑම මිනිසුන් නොවන වග.සෑම දුදනෙක් තුළම විරුවෙක් ද සිටින බව;හැම සටකපට දේශපාලකයෙකු තුළම ශුර නායකයෙකු සිටින වග.

ඩොලරයක් කොහෙන් හෝ හමුවුවාට වඩා තමන් විසින්ම ඉපයූ සත දහය ඉතා වටිනා බවත්;පාසලේ දී අසමත් වීම,වංචාවට වඩා ඉතා ගෞරවනීය බවත් වටිනා බව ඔහුට උගන්වන්න.ගෞරවනීය ලෙස පරදින අයුරු..දිනු දින දිනුම තුටින් සමරන'යුරු ඔහුට උගන්වන්න.

ඔබට හැකිනම් ඔහුට  උගන්වන්න; මිනිසුනට කරුණාවන්ත වන්නට.තද මිනිසුන්ට තදින් සලකන්න.කුහකත්වයෙන් ඉවතට ඔහු රැගෙන යන්න සිනහමුසු මුහුණින්.

දුකේදී හිනැහෙන්නත්,කඳුළක් හෙලුමට ලජ්ජා නොවන්නටත්,ඔහුට උගන්වන්න.

උත්කර්ෂයක්,මහිමයක් වැරදීමක දොසක වුව තිබිය හැකි බවත්;සාර්ථකත්වය තුළ සැඟවුන අවාසනාවක් තිබිය හැකි බවත් ඔහුට උගන්වන්න.
නින්දාශිලින්ට සමච්චල් කරන්ටත්,සිමා රහිත මිහිරි බවින් පරිස්සම් වන්නටත් ඔහුට උගන්වන්න.

තමන් නිවැරදි යයි හඟින තැන සභා මැද ඒ වෙනුවෙන් මොර ගසන්නටත්,පෙනී සිටින්නටත්,සටන් වදින්නටත් ඔහුට උගන්වන්න.

ඔබට හැකිනම්,උගන්වන්න ඔහුට පොතපතෙහි පුදුම සහගත බව.එනමුත් ඔහුට ඉඩ දෙන්න අහසෙහි සරණ සියොතුන්ගේ , නිල් කඳු මුදුනත පිපි මලෙක සැඟවුණු අභිරහස සොයන්නට.

අන් සියළු දෙනා ඔහු වැරදි යයි කියද්දීත්,තමන්ගේ අදහස් ගැන විශ්වාසය තබා ගන්නට ඔහුට උගන්වන්න.සියළු දෙනා පිරිස් පසුපස හඹා යද්දී එසේ නොකරනු පිණිස මපුතුට ශක්තියක් වන්නට උත්සාහ කරන්න.ඔහුට උගන්වන්න සැමදෙනාටම සවන් දෙන්නට.නමුත් සත්‍යය රාමුව තුළ ඇසෙන දෙයින් හොඳ දේ පමණක් පෙරාගන්නට.

තමන්ගේ දක්ෂකම් හා නුවණ ඉහළම ලංසුවේ තබන නමුත් ,තම හදවත සහ ආත්මය මිල නොකරන්නටත් ඔහුට උගන්වන්න.
නොඉවසිලිමත් වන්නට ධෛර්යයත්,නිර්භීත වන්නට ඉවසීම ත් ඔහුට ලබාගන්නට ඉඩ දෙන්න.

තමන් පිළිබඳ අත්‍යුදාර විශ්වාසය තබාගන්නට ඔහුට උගන්වන්න.එවිට ඔහු සැමවිටම මිනිසුන් කෙරෙහි විශ්වාසවන්ත වනු ඇති.

මෙයයි ක්‍රියා පිළිවෙළ .ගුරුතුමනි,එහෙත් ඔබට හැකි පමණ මෙය සිදුකරන්න.
ඔහු සැබවින්ම ලස්සන පුංචි කොල්ලෙක්වගේම ඔහු මගේ පුතු!

ඒබ්‍රහම් ලින්කන්





Monday, August 20, 2012

ඇමෙරිකන් කල්ලන්ගේ ගැලවුම්කරුවා - ඒබ්‍රහම් ලින්කන් - Abraham Lincoln


ඒබ්‍රහම් ලින්කන් (1809-1865)ඇමෙරිකන් කල්ලන්ගේ ගැලවුම්කරුවා 

ස්ටෙෆාන් ඩග්ලස් (Stephen Douglas) පරදවමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසය වැනි (16.) ජනපතිවරයා බවට; ඒබ්‍රහම් ලින්කන් පත්වුයේ 1861 දී ය.

ඔහු ජනපති වුයේ බෙදුණු රටක ය.ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය එක්සත් ජනපද සිවිල් යුද්ධයේ ගිනි පුපුරක් වැනි විය. දකුණු ප්‍රදේශය (Southern State;Confederated State)පාලනය කළ පුද්ගලයන්ට එකල ජනපදය පුරා දළු ලා වැදුණු "වහල් සේවය"' නැති කිරීමට උවමනාවක් නොතිබිණි.මන්ද යත් වහල් සේවය, වැවිලි කර්මාන්තය මත පදනම් වූ ඇමෙරිකානු ආර්ථිකය තුල විසල් රංගනයකට දායක වීම නිසාය.

වහල් සේවාව තුරන් කිරීම සඳහා මග දෙපස පිළියෙළ වුයේ උත්තර (Northern) ප්‍රදේශයෙනි.ලින්කන් ඊට අවැසි නීතිමය කටයුතු සැකසුවා පමණක් නොව තම මැතිවරණ ව්‍යාපාරයේ තේමා පාඨය කරගත්තේය.

1861 දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (Democratic) අපේක්ෂකයා වූ ඩග්ලස් සහය දැක්වුයේ "වහල් සේවය තුරන් කරනවද නැද්ද යන්න එක් එක් ප්‍රාන්තයට ස්වාධීනව තීරණය කරගැනීමට ඉඩ දිය යුතුය" යන මතයටය.අනෙක් අතට ලින්කන් කීවේ වහල් සේවය නීතියෙන් සහමුලින්ම,මුළු රටටම බලපාන පරිදි ඉවත් කළ යුතු බවකි.

ඒබ්‍රහම් ලින්කන් 1809 පෙබරවාරි 12 වෙනිදා කෙන්ටකි (Kentucky) හිදී උපත ලද අතර ඔහුගේ දෙසියය (200) වැනි ජන්ම දිනය පසුගිය 2009 වසරේදී සමරන ලද්දේ වත්මන් එක්සත් ජනපද ජනපති බරක් ඔබාමා ගේ අනුග්‍රහය යටතේය.

විශේෂිතම කරුණු ලෙස සඳහන් කළ හැක්කේ ලින්කන් ඇමෙරිකාවේ ප්‍රධාන කොළණි දහතුනෙ (13)න් පිටත ප්‍රදේශයකින් බිහිවුන ප්‍රථම ජනාධිපතිවරයා වීමත් ඔහු උපත ලද දිනම ශ්‍රේෂ්ඨ ජීව විදුවර 'චාර්ල්ස් ඩාර්වින් (Charles Darwin)  ද එංගලන්තයේදී උපත ලැබීම යි.

ලින්කන් උගත් පුද්ගලයෙකු වුවද ඔහුගේ දෙමාපියෝ අකුරු උගත්තෝ නොවූ හා.ඔහු පසුව ප්‍රකාශ කළේ තමන්ට උවමනා වුයේ 'සීමා මායිම් නොදන්නා පුංචි යන්ත්‍රයක් වීම" බවය. (A little machine who knew no bounds) ඔහු නීතිවේදියෙකු හා දේශපාලකයෙකු ලෙස ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළේය.

වින්දනාත්මක කරුණක් ලෙස ලින්කන් ගැන කතා කළ හැක්කේ අරුමැසි යටි රැවුලක් සහිත පළමු ඇමෙරිකන් ජනාධිපති ඔහු වූ අතර එක්සත් ජනපදයෙන් බිහිවූ සිරුරෙන් උසම ජනාධිපතිවරයා ද ඔහු බව ය.
තවත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ;බෝට්ටු ඔසවා තබන උපකරණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් (Patent for a device for lifting boats over shoals) ඔහුට හිමිවූ බවත්,පේටන්ට් බලපත්‍ර ධාරි එකම එක්සත් ජනපද ජනාධිපති , ඔහු වීම ත් ය.

ලින්කන්ගේ පදවි ප්‍රාප්තියෙන් දින තිස්නවයක් (39) ගිය තැන, එක්සත් ජනපදයේ සිවිල් යුද්ධය ඇරඹි සය ලක්ෂයකට (600,000) අධික පිරිසක් දිවි දුන් අතර සමස්ත ජනපදයෙන්ම වහල් සේවය තුරන් කළ යුතු යැයි ලින්කන් සිටි මතයේම නොසැලී සිටිය දීම 1865 මහා සිකුරාදා දිනෙක ලින්කන්ව වෙඩි තබා ඝාතනය කෙරිණි.සති හයක (06) ඇවෑමෙන් දක්ෂිණ ප්‍රාන්තයන් තම අදහස් අත් හැර දැමිය. සිවිල් යුද්ධය නිමාවට පත් විය.

ලින්කන් ඝාතනය 

1860 මැයි මස 08 වෙනිදා ලින්කන් ජනපති ලෙස නම් කළ දා චිකාගෝ වේ Maverick Theater හිදී රඟ දැක්වුණු නාට්‍යය වූ "OUR AMERICAN COUSIN"' නරඹමින් සිටියදීම 1865 අප්‍රේල් 15 වෙනි දා වොෂින්ටන් ඩි.සි. හි Ford Theater හිදී Booth විසින් ලින්කන් ව වෙඩි තබා මරා දැම්මේය.

ඒබ්‍රහම් ලින්කන් ජිවන තතු




  • උපත : 1809 පෙබරවාරි 12
  • විපත : 1865 අප්‍රේල් 15 (වයස අවුරුදු 56)
  • ජාතිය :ඇමෙරිකානු
  • දේශපාලන පක්ෂ : Whig (1832-1854), Republican (1854-1864), National Union (1864-1865)
  • බිරිඳ : Mary Todd Lincoln
  • දරුවන් : Robert, Edward, Willie,Tad
  • රැකියාව : නීතිවේදී

හිත-වත

කෙනෙකු පැවසුවොත් සංකල්පයක් "ශ්‍රේෂ්ඨ ඇමෙරිකන් ජනපති" නමින් ඔහු ය "ඒබ්‍රහම් ලින්කන්'.
නීතිවේදියෙකු,දේශපාලන චින්තකයෙකු,නීති සම්පාදකයෙකු එමතු ද නොව මහත් අභිරුචියෙන් පොත් කියවන්නෙකුද වුයේ..මනස සංවර්ධනය සඳහා ඔහුගේ ඇති කැමැත්ත ප්‍රකට කරවමිනි.

ඇෆ්රෝ-ඇමෙරිකන් කළු වහලුන්ට නිදහසේ නිවේදනය නිකුත් කළ සිවිල් අයිතිය පිටුපස සිටි විශිෂ්ඨ දේශපාලකයා ඔහු විය.ඔහු දුටු සිහිනයේ සැබෑ පල නෙලා ගත් දෙදෙනෙකි. ඒ මාටින් ලුතර් කිං සහ 2008 දී ජනපති ධුරයට පත්වූ ඇෆ්රෝ-ඇමෙරිකන් බරක් ඔබාමා ය.

ඔහු විශ්වාස කළේ එය සහමුලින්ම "කල්ලන්ගේ නිදහස' මිස අන් යමක් නොවිය යුතු බවයි.මේ කරුණ සම්බන්ධව ඔහුගේ ඒකායන මතය ඉමහත් උත්කෘෂ්ට වූ අතර,එය එක්සත් ජනපදයේ "උතුර-දකුණ" පුරා ගිගුම් දෙන සිතුවිල්ලක් වන වග ලින්කන් විශ්වාස කළේය.

තමන්ගේ "නිල ප්‍රතිෂ්ඨාපනය"(Inauguration) සේයා රූ ගත කළ පළමු ඇමෙරිකානු ජනපතිවරයා ද වූ ලින්කන්ගේ ඝාතකයා වන John Wilkes Booth ද එම සේයාරුවේ පසෙක දැකගන්නට ලැබීම දෛවයේ සරදමක් වැන්න..සිනමාවේ වැඩියෙන්ම පෙනී සිටි මේ ජනපතිවරයා ඝාතනයට ලක් කලේද නළුවෙකු විසිනි.


Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it