පැරණි
ඊජිප්තුවේ ඒ කියන්නේ මිසරයේ වාස්තු විද්‍යාවේ අරුමය ලෝකෙට කියාපාන කැඩපත තමයි
පිරමිඩ කියන්නේ. මෙතුවක් කල් නොනැසී තියෙන මිනිස් නිර්මාණය හැටියට සැලකෙන්නේ
ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඉඳලා කිලෝමීටර් 18ක් දුරින් ගීසා නම් නිම්නයේ පිහිටා තියෙන
පිරමිඩ තුනයි. පිරමිඩ කියන්නේ ලෝකයේ පැරණිතම පුදුම හතට අයිති තවමත් නොනැසී තියෙන
මිනිස් නිර්මාණයක්.
මිට
අවුරුදු 4600කට ඉස්සෙල්ලා මිසරයේ පාරාවෝ
රජවරුන් හැටියට කටයුතු කරපු කූෆු (Khufu) ඔහුගේ පුත්‍ර කාෆ්රේ (Kahfre) මෙන්ම මුණුබුරා
වන සැන්කුරේ තමයි තමන්ගේ සොහොන් ගෙවල් පිරමිඩ හැටියට නිර්මාණය කරන්න අණ දීලා
තියෙන්නේ. ඒ සියවස තමයි මිසර සංස්කෘතික දියුණුවේ උච්චතම අවස්ථාව.
චියෝෆ්
කියන නමින්ද හඳුන්වන කුෆු රජතුමා විසින් හදවපු පිරමිඩය තුලින් තමයි විද්‍යාඥයන්
පවා මවිත කරවපු මේ අබිරහස් හිඩැස හමුවෙලා තියෙන්නේ. අබිරහස් වලින් ම පිරිලා තියෙන ගීසා
හි මේ සුවිසල් පිරමිඩ අතරට එක්වුණු මේ අබිරහස් හිඩැස නිසා විද්‍යාඥයන් අන්ද මන්ද
වෙලා.
පුරා
විද්‍යාඥයෝ කියන විදියට මේ පිරමිඩය ඉදිකරලා තියෙන්නේ ක්‍රිස්තු පුර්ව 2509 සිට
2483 අතර කාලය තුලයි. ගීසා නිම්නයේ තියෙන පිරමිඩ තුන අතරින් උසින් වැඩිම පිරමිඩය තමයි
මේක. උස මීටර් 140ක්. ඒ කියන්නේ අඩි 460ක්.
මුවොග්‍රෆි
(Muogrophy) කියන ස්කෑන් තාක්ෂණය යොදාගෙන ප්‍රංශ සහ ජපාන ජාතික පුරා විද්‍යාඥයන්
සහ තාක්ෂණවේදීන් විසින් මේ පිරමිඩ හිඩැස පිළිබඳ ස්කෑන් පරීක්ෂණය සිදු කරලා
තියෙනවා.
මුවොග්‍රෆි
කියන්නේ නවීන ජපන් තාක්ෂණික ක්‍රමයක්. මේකෙදි කරන්නේ පෘථිවියට වැටෙන කොස්මික් කිරණ
යොදාගෙන ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම. කොස්මික් කිරණ වායුගෝලයට එද්දී, අණුවලට
වෙන්වෙනවා. ඒ අතර වන ‘මුවොන්ස්’ අණු , පස්වල තියෙන ඛනිජ ද්‍රව්‍ය මගින් උරාගන්නවා.
ඉන් පස්සේ පරාවර්තනය කරනවා. පරාවර්තනයක් වෙන්නේ නැත්නම් එතැන තියෙන්නේ හිස්
අවකාශයක්. ගීසා පිරමිඩය ඇතුලේ සිදුරක් තියෙනවා කියලා හොයාගත්තේ ඒ අනුවයි.
ජපානයේ
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අබලන් වෙලා විකිරණ කාන්දුවීමක් සිදුවුණා. ඊට හේතුවුනේ
සුනාමිය සහ භුමි කම්පා. ඒ ගැන පරීක්ෂණ සිදුකිරීමටත් උඩ කියපු ස්කෑන් තාක්ෂණය
යොදාගෙන තියෙනවා.
පර්වත,
බිම් පෙදෙස් වගේම අයිස් තට්ටු අතර ස්කෑන් පරික්ෂා සුදුකිරිමටත් මේ නවීන තාක්ෂණය එක
සේ පාවිච්චි කරනවාලු.
කුෆු
රජුගේ පිරමිඩය ඇතුලෙන් හිඩැස් දෙකක් සොයාගෙන තියෙනවා. එකක් විශාලයි. ඊට පහලින්
තියෙන සිදුර උඩ එකට වඩා කුඩයි.
මේ
හිඩැස මොන අරමුණකින් නිර්මාණය කළාද කියලා තාමත් හොයාගෙන නෑ. මේක ඇතුලේ අබිරහස්
දෙයක් තැන්පත් කරලා තිබුනද දන්නේ නෑ. මේ හිඩැස නිකම්ම හිඩැසක් ද නැත්නම් වටිනා
මොනවහාරි තියෙනවා ද දන්නෙත් නෑ. ඒක හොයාගන්න බැරි, පිරමිඩයට හානියක් නොකර ඒ ගැන
දැනගන්න බැරි නිසා.
මේ
අවකාශය නිර්මාණය කරලා තියෙන්නේ පිරමිඩය ඇතුලේ පීඩනය නැති කරන්න හෝ මුදා හරින්න
වෙන්න පුළුවන් කියලා වාස්තු විද්‍යාඥයන් කියනවා. හැබැයි ඒක මේ වන තෙක් තහවුරු කරලා
ඔප්පු කරලා නෑ.
මේ
පිරමිඩයටම කියනවා මහා පිරමිඩය කියලත්. ගීසා නිම්නයේ හදපු පළවෙනි පිරමිඩයත් මේක. මුල්ම
කාලේ මේකේ උස අඩි 481ක් වුනාලු. දැන් මේකේ මුදුන කැඩිලා ගිහිල්ලා. 14 වෙනි සියවස
වෙනකන්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වුනේ කුෆු රජ්ජුරුවන්ගේ මේ මහා පිරමිඩය. මේකේ පාදම
අක්කර 13ක්. ඒ කියන්නේ හෙක්ටයාර 5.3ක්. පැත්තක දිග විතරක් මීටර් 230ක්. නැත්නම්
අඩි වලින් 756ක්.
කාෆ්රේ
රජුගේ පිරමිඩය, පිය රජු වෙච්ච කුෆු ගේ පිරමිඩයට වඩා උසින් අඩුයි. මුණුබුරු
සැන්කුරේගේ පිරමිඩය ඊටත් වඩා පොඩියි. කුෆු රජුගේ
පිරමිඩයට වඩා අඩි දහයක් උසින් අඩුවෙච්ච
කාෆ්රේ රජුගේ පිරමිඩයත්, මීටර් 66ක් වෙච්ච සැන්කුරේ රජුගේ පිරමිඩයත් එක
ළඟින් නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනෙකුත් රාජකීයයන් හා නෑයන්
වෙනුවෙන් පිරමිඩ සමුහය ළඟින්ම කුඩා දේවාල හා සොහොන් ගෙවල් හදලා තියෙනවා. ග්‍රීක
ජාතිකයන් විසින් ගීසා හි මෙම අනගි පිරමිඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුම හතට ඇතුලත්
කළා.
මහා
පිරමිඩය හදන්න මිසර වැසියන් හා වහලුන් 100000 දෙනෙකුගේ සේවය ලබාගෙන තියෙනවා. ග්‍රීක
ඉතිහාසඥ හෙරඩෝටස්ට අනුව මේ පිරමිඩය ඉදිකරන්න අවුරුදු විස්සක් ගතවෙලා තියෙනවා.
හුණුගල් කුට්ටි මිලියන 2.3ක් යොදාගෙන තියෙනවා. මේ එක ගල් කුට්ටියක් ටොන් 2.5ක්
විතර බරයි. මේ ගැන සඳහන් වෙන්නේ හෙරඩෝටස්ගේ අවුරුදු 2400ක් විතර පරණ ලේඛණවලින්.
පිරමිඩ
හදන්න පාවිච්චි කරපු ගල් කුට්ටි ගීසා නිම්නයේ වෙන කොහෙවත් දකින්න ලැබෙන්නේ නෑ. ඒවා
තියෙන්නේ සැතපුම් දහස් ගාණක් දුර නයිල් මිටියාවතේ පහළ තියෙන ගල් වලවල්වල. මේ
හුණුගල් කුට්ටි පිරමිඩ හදපු තැන්වලට ගෙනල්ලා තියෙන්නේ පහුරුවලින් ලු. පිරමිඩ හදන්න
හුණුගල් ප්‍රවාහනය කරපු හුණු ගල් නිධි කිහිපයක්ම පුරා විද්‍යාඥයෝ විසින් හොයාගෙන
තියෙනවා.
පිරමිඩ
ඉදිකරන්න ප්‍රධාන හේතුව තමයි පාරාවෝ රජවරුන්ගේත්, ඔවුන්ගේ පවුල්වල අයගෙත් මළ සිරුරු
මමිකරණය කරලා ආරක්ෂිතව තැන්පත් කරන්නයි, ඔවුන්ගේ වස්තු සම්බාරය නිදන් හොරුන්ගෙන්
බේරගන්නයි. මෙහෙම මළ සිරුරු මමිකරණය කරන්න පැරණි මිසර වැසියන් පෙළඹුණේ මරණින් මතු
ජිවිතයක් ගැන ඔවුන් තදින්ම විශ්වාස කරපු නිසා. ඒ හින්දා මියගිය සිරුරු ආරක්ෂිතව
තියාගන්න ඔවුන් හුඟාක් මහන්සි වුනා.
පිරමිඩ
ඉදිකරන්න තෝරාගත්තේ නයිල් ගංගා නිම්නයේ බටහිර පැත්ත. මළවුන්ගේ නිවහන ඇත්තේ හිරු
බැස යන දිසාවේ කියලා මිසර වැසියන් විශ්වාස කිරීම ඊට හේතු වුනා. මළ සිරුරු තැන්පත්
කරන කුටි තිබ්බේ හරියටම පිරමිඩය මැද. දෙපැත්තේ ඉඳලා පිරමිඩය ඇතුලට එන්න හදපු පටු
මංතීරු හැම එකක්ම ඉවර වුනේ මේ කුටිවලින්. මමිකරණය කරපු මළ සිරුරු මේකේ තැන්පත් කළායින්
පස්සේ මේ මංතීරු ගල්වලින් වහලා සීල් කරලා තියෙනවා.
අවාසනාවට
පාරාවෝ රජවරු බලාපොරොත්තු වෙච්ච විදියට මේවා ආරක්ෂා වෙලා තිබ්බේ නෑ. සියවස් ගණනක්
පුරා නිධන් හොරු පිරමිඩ තුලට පැනලා වස්තුව දේපළ මංකොල්ල කෑවා.
පැරණි
මිසර වැසියන් සුර්යයා හැඳින්වූවේ ‘රා’ කියන නමින්. සුර්යයා, චන්ද්‍රයා හා අනෙක් ග්‍රහලෝක
හා පිරමිඩ අතර සම්බන්ධයක් තියෙනවා කියලා ජෝතිර්වේදීන් මෙන්ම පුරා විද්‍යාඥයින් පවා
කියනවා. පාරාවෝ රජවරුන් පිරමිඩ හදන්න පෙළඹුණේ හිරු දෙවියන් වැඳීමේ අරමුණින් කියලත්
කියනවා.
මිසරයේ
මුල්ම පිරමිඩ හදලා තියෙන්නේ කුෆු රජතුමාගේ පාලනයට සියවස් ගණනාවකට කළින්. පුරාණයේ
මිසරයේ ජිවත්වෙච්ච මිනිස්සු වැලි වලවල්වල මළ සිරුරු මිහිදන් කරලා, ඊට උඩින් පිරමිඩ
හැඩයට ස්මාරක වැලිවලින් හෝ ගඩොලින් නිර්මාණය කරලා තියෙනවා. මෙහෙම ස්මාරක හදලා
තියෙන්නේ මළ සිරුරු වළලපු තැන්වල වැලි හුළගේ ගහගෙන යන එක වලක්වගන්න. මේ ස්මාරක
සැළකෙන්නේ ගීසා හි පිරමිඩවල මුල් ආකෘති හැටියටයි. පාදමට මාබල් කුට්ටියක් දාලා
පඩිපෙළක් වගේ හදපු ‘පඩි පිරමිඩය’ තමයි පළමු පිරමිඩය විදියට සැළකෙන්නේ. එහි සැලසුම්
ශිල්පියා ඉම්හොටෙප්.
ඉම්හොටෙප් කියන්නේ ලෝකේ පළමු විද්‍යාඥයා හැටියටත් සම්භාවනයට ලක්වන
මහා පුරුෂයෙක්. අවුරුදු 4950කට කලින් ජිවත්වෙච්ච එතුමාගේ මරණින් අවුරුදු 2000ක්
යනකනුත් ඒ වගේ විද්‍යාඥයෙක් ලෝකේ පහළවුනේ නෑ. ඔහු විස්මිත දේ කළ කෙනෙක්. ඒ කතා
නිකම්ම ප්‍රවාද නෙමෙයි කියලයි පුරා විද්‍යාඥයෝ කියන්නේ. රෝග සුව කිරීමේ මායා බලයක්
එක්ක ජීවත්වුණා යයි කියන මොහු ටෝලමික යුගයේදී හඳුන්වලා තියෙන්නේ වෙදකමට අධිපති
ටාග් දෙවියන්ගේ පුතෙක් කියලා.
සෝසර් කියන පාරාවෝ
රජ්ජුරුවන්ගේ ප්‍රධාන උපදේශකවරයා විදියට හිටපු ඉම්හොටෙප් පඬිවරයා රජ්ජුරුවෝ
වෙනුවෙන් සකාරා වල ඉදිකරපු මේ පිරමිඩය සකාරා පිරමිඩය කියලත් හඳුන්වනවා. ලෝකේ තියෙන
පරණම පිරමිඩය මේක නිසා, මෙහි
නිර්මාපකයා සහ ඉදිකිරීම් ශිල්පියා ඉම්හොටෙප් නම් ලෝක ඉතිහාසයේ එවැනි දස්කමක් කළ
පළමු තැනැත්තා වෙන්නේ ඉම්හොටෙප්. පාදමේ ඉඳලා මුදුන වෙනකම් පඩි 6ක් විදියට නිර්මාණය
කරපු නිසා තමයි මේකට පඩි පිරමිඩය කියලා කියන්නේ.
කුෆු පිය රජුගේ පුත්‍රයා වෙච්ච ස්නෙෆ්රූ රජුත් හරිම සුමට බිත්ති
තියෙන පිරමිඩ කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒවායින් එකක් තමයි ‘ඇලවුණු පිරමිඩය’
කියන්නේ. මේක පේන්නේ ඇලවෙලා වගේ. එකේ එක පැත්තක් අනෙක් පැත්තට වඩා කුඩාවට තමයි
හදලා තියෙන්නේ . ඒකයි හේතුව. මේ වගේ රජවරුන් හදපු පිරමිඩ 80ක් විතර මිසරයෙන්
හමුවෙලා තියෙනවා.
ඒත් ඒ කිසිම එකක් ගීසා හි පිරමිඩ ත්‍රිත්වය එක්ක සම කරන්න බෑ. ඒ
පිරමිඩවලින් බොහොමයක්ම දැන් විනාශවෙලා හෝ නටබුන්වෙලා ඉවරයි.