ඇමරිකානු ස්වදේශී පුරවැසි චෙරොකී [Cherokee] මහළු ගෝත්‍රිකයෙකු හා ඔහුගේ කුඩා මුණුබුරා අතර සිදුවූ සංවාදයක් මානව චින්තන සන්තානයේ ඇතුලාන්තය විවර කර පෙන්වයි.
කඳුකරයේ සැඟවී ගිය කුඩා ගෝත්‍රික ගම්මානයක් රාත්‍රී සීතලෙන් වෙලී තිබුන. අඳුරු තුරු හිස් මතින් ඈත ආකාශයේ බොඳ වී ගිය සිතුවමක් විලාසයෙන් පූර්ණ චන්ද්‍රයාගේ ජායාව බැබළෙමින් පැවතුනා.
තමන්ගෙ ලෙන තුලින් එලියට විත් කදු පාමුල විවෘත භූමියේ දල්වන ලද ගිණි මැලයක උණුසුම විදිමින් සිටින මහළු සීයා කෙනෙක් ඔහු අද්දරින්ම වාඩිගෙන හිටපු තමන්ගෙ මුණුබුරාගෙන් මෙහෙම ඇහැව්ව.
"පුතාට ඇහෙනවද කන්දෙ කැලේ වෘකයන් කෑ ගහන සද්දෙ. දඩයමේ යද්දි අපි නොසෑහෙන්ට පරිස්සම් වෙන්න ඕනෑ ඔය සත්තුන්ගෙන්. වෘකයා කියන්නෙ බොහෝම දරුණු සතෙක්. ඒ හින්දම තමයි අපි තනියෙන් දඩයමේ නොයා පිරිසක් වශයෙන් කැලේට වදින්නෙ.
නමුත් ඔය අතරෙ හොද වෘකයො නැත්තෙමත් නෑ. ඒ වගේ උන් මිනිස්සුන්ව දැක්කම පාඩුවෙ අහක බලාගෙන යනව. එහෙම නැතිනම් ඇසිල්ලකින් කැලේ තුලට අන්ත්‍රස්ධාන වෙනව.”
දසත දැවටෙන හීතල අතරෙ ගිණිමැලයෙ රස්නයෙන් උණුහුම ලබන පොඩිත්තා ඈත කදුකරයෙ අදුරු ඉසව් දිහා සිය නෙත් යොමාගෙන ඉන්නෙ සීයගෙ කතාන්දරය අහල ධ්‍යානයකට සමවැදුන වගේ. සමහර විටෙක භයානක වෘකයෙකුගෙ උල් දත් මුණුපුරාගෙ හිතේ චිත්තරූප මැවුන වෙන්නත් පුළුවන්.
ඉදිරිපසින් දිස්වන අන්ධකාර අවකාශයෙන් සිය දෑස් ගිණි මැලය දෙසට යොමු කල මහළු චෙරොකි ගෝත්‍රිකයා තවත් කල්පනාකාර නිමේශයක් ගත කලා. රන්වන් පැහැ ගිණි දළු දෙස අවධානය යොමුකර ගෙන සිටි ඔහුගේ දෑස් ගිණි පුළිගු සේ දීප්තිමත් උනා.
“උඹ දන්නවද පුතේ ... අපේ ඇග ඇතුලෙත් වෘකයො දෙන්නෙක් ඉන්නව. එකෙක් ආදරය, කරුණාව, දයාව, සතුට ආදී උතුම් ගුණාංගයන්ගෙන් පිරිල. අනිකා ක්‍රෝධය, ද්වේශය, පළිගැනීම, කේන්තිය වාගේ දුර්ගුණයන්ගෙන් වැහිල. මුන් දෙන්න හැම වෙලාවෙම අපි හැමෝගෙම ඇතුලාන්තයෙ සටන් කරනව.
ඔව් ඒක මහ දරුණු සටනක් ... ”
ඔව් ඒක මහ දරුණු සටනක් ... ”
පොඩිත්තට අහන්න ප්‍රශ්නයක් තිබුන. ඒක සියවස් ගණනාවක් මිනිස් වර්ගයාට සෙත සලසවපු ප්‍රශ්න කිරීමක්.
"එතකොට සීයෙ දිනන්නෙ මොන වෘකයද?"
මහළු චෙරොකි ගෝත්‍රිකයා සරළ කෙටි උත්තරයක් ලබා දුන්න. සකල ලෝක වාසී මනුෂයන්ට සිය ජීවිතයේ අභ්‍යන්තර අරගලයට දිශානතියක් එක් කරපු ඒ වදන් අනාගත ලෝකයට සිතුවිලි ද්වාරයක් විවෘත කලා.
"අපි කන්න දෙන වෘකය තමයි පුතේ සටන දිනන්නෙ ..."
[ලෝකයේ යහ පැවැත්ම වෙනුවෙන් ශම්බාලා සෙන්පතියන් බිහිකිරීම සදහා 2019 ජනවාරි මස දින තුනක් මුළුල්ලේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ සංස්කෘතික නුවණ වැඩමුළුව අතරතුරදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් වෙතින් උගත් කතාන්දරයක් ආශ්‍රයෙනි.]
තිළිණ හිරිපිටිය
2019-01-31
2019-01-31
No comments:
Post a Comment