මට පළවැනි හාට් ඇටක් එක හැදුනේ අවුරුදු හතළිස් හයේදී. පහුගිය දිනවල මගේ ළබැදියන් කිහිප දෙනෙක්ම හෘදයාබාධ වලට ගොදුරු වුනු නිසා මගේ ඒ අත්දැකීම් බෙදා හදා ගතයුතු යැයි හිතුවා.
එදා සතියේ දවසක්. බිරිඳ ඇගේ ඥාතියෙකුගේ මඟුලක් නිසා උදෙන්ම නුවර යන්න පිටත් වෙලා. කොළඹ අවට ඉන්න එයාගෙ සියළු ඥාති පිරිවරත් එක්කම. දරුවො දෙන්නා උදෙන්ම ඉස්කෝලෙ ගිහින්. සියළුම in laws ලා කැළණි පාලමත් පහු කරපු සතුට සමරන්න උදෙන්ම පාරට බහින්න හිතුවත් විනාඩි පහෙන් පහට වෙලාව මතක් කරන්න කෙනෙක් නැති නිසා පරක්කු වුනා. අන්තිමට ගෙවල් ළඟ ත්‍රී වීල් එකකට කෝල් කලා කොහොම හරි වෙලාවට වැඩට යන්න.
එතකොටත් මම ලෑස්ති වෙනවා. ත්‍රී වීලරේ ගේට්ටුව ළඟ. එක පාරට පපුව මැද්දෙන් උණු වෙලා වැගිරෙන කේතලයක් තිබ්බා වගේ පපුව ඇතුලේ ලෝ දිය ගලනවා දැනුනා. පොතේ කියන පිළිවෙලට වම් අත දිගේ වේදනාවක් ආවේ නෑ. නමුත් තේරුනා මට ඇටැක් එකක් ඇවිත් බව. ගිහිං ත්‍රී වීලරේ වාඩිවෙලා කිව්වා මාව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්න කියලා.
ප්‍රශ්නෙ වුනේ එතනයි. කොහේටද යන්නේ. ඒ කාලෙ පුතාට ඇදුම හැදෙන නිසා පුතාට වාෂ්ප අල්ලන්න කොළඹ පෞද්ගලික රෝහලකට අපි නිතර යනවා. එතන හොඳට හුරු පුරුදුයි. ඒ පුරුද්දට මම කිව්වේ එතැනට යමු කියලයි. දැන් ත්‍රී වීලරෙ බොරලැස්ගමුවෙ ඉඳන් කොළඹ පැත්තට යනවා. මම පපුව අල්ලගෙන පිටිපස්සේ සීට් එකේ. රත්තනපිටිය, පැපිලියාන පහුවෙද්දී මම ඒවගෙන් සමුගන්නවා. මොකද මට හිතෙනවා මේ හන්දි, කඩ පිලවල් දකින අන්තිම දවස කියලා.
කොහුවල හංදියෙදී අපිට කලින් සිග්නල් ලයිට් එක ඉස්සර වුනා. රතු වැටුණා. ඒ එක්කම කොළ පාටට පත්තු වුනු ඊතලේ පෙන්නුවා වමට හරවන්න අවසරයි කියලා. වමට හැරෙව්වොත් කළුබෝවිල ඉස්පිරිතාලෙට යන්න පුළුවන්. මම ජීවිතේට කියපු ඥනවන්තම වචන ටික කිව්වෙ එතකොටයි. "අපි කළුබෝවිලට යමු".
විනාඩි දෙකකින් අපි රෝහල් ගේට්ටුව ළඟ. තව විනාඩි තුනකින් මම හදිසි ප්‍රතිකාර ඒකකයේ, සිංහලෙන් කිව්වොත් ඊ සී යූ එකේ, ඇඳක් උඩ, එහෙන් මෙහෙන් ඇඟට අමුනපු වයර් ගොඩක් එක්ක. මාව වට කර ගත්තු රෝහල් කාර්ය මණ්ඩලයක් එක්ක.
මට තේරුණු විදිහට අඩුගානේ එතන හිටිය දෙන්නෙක් දොස්තරලා. ඒ එක්කෙනෙක් කිව්වා මට හෘදයාබාධයක් වැලදී ඇති බව. ඒත් එක්කම මගේ හිතේ විශ්වාසය තහවුරු කලා මම දැන් ඔවුන් සමග නිසා බය වෙන්නට හේතුවක් නැති බව. ඒ එක්කම කිව්වා මට හෙළවෙන්නට හෝ කතා කරන්නට අවසර නැති බව. ඉතා කුඩා චලනයක් පවා හදවතට හොඳ නැති බව.
නමුත් ඔවුන්ට මගෙන් අසන්නට ප්‍රශ්ණ තිබුනා. පිළිතුර ඔව් හෝ නෑ ප්‍රශ්ණ. මේ පළවෙනි ඇටැක්
එකද, මම මොකුත් බෙහෙතක් ගන්නවද මේ සම්බන්ධව, මට ඇලජික් බෙහෙත් තියනවාද, පවුලේ අයට මේ රෝගය තියනවාද වගේ ප්‍රශ්ණ. මම ඇස් බෝල වමට හා දකුණට හැරවීමෙන් ඔව් හෝ නෑ කියන්න ඕනෙ. හැම කතා කරන වචනයක්ම, හැම චලනයක්ම මට අවාසියි...!
එදා මම පෞද්ගලික රෝහලට ගියා නම් සියල්ල වෙනස් වෙන්න තිබුනා. වාහන තදබදය එක්ක කොළඹට එන්න තව පැය බාගයක්වත් යාවි. මං පස්සෙ දැනගත්ත විදිහට හෘදයාබාධයකදි හැම තත්පරයක්ම වටිනවා. ආබාධය හැදුනු වෙලේ සිට ප්‍රතිකාර ලැබෙන තුරු හදවත හානියට ලක්වෙනවා. ජීවිතේ බේරුනත් ඒ හානි වෙච්ච කොටස නැවත යථා තත්්වයට ගේන්න බැහැ. අදත් එකෝ පරීක්ෂාවක් කලාම දොස්තරවරු පෙන්නනවා මගේ හදවතේ හානි වු කොටස. ඒ ටික අක්‍රීයයි අදටත් සදහටත්.
පෞද්ගලික රෝහල් හොඳයි වෛද්‍ය උපදේශනයක් ගන්න. ඒ කිව්වෙ දොස්තර කෙනෙක් චැනල් කරන්න. එහෙම නැතිනම් කලින් එකඟ වූ වෙන් කරගත් දිනයක රෝහල් ගත වී ශල්‍ය කර්මයක් වුනත් කරගන්න. නමුත් මගේ අත්දැකීම නම් හදිසි අවස්ථාවකදී ආණ්ඩුවේ ඉස්පිරිතාලේ තමයි. මමත් කළුබෝවිල රෝහල මගේ ජීවිතය බේරුවට පස්සෙ නිවාඩු පාඩුවෙ බයිපාස් එක කරගත්තේ පෞද්ගලික රෝහලක.
ඔය ඉඩම් විකුණන කට්ටිය දැන්වීම් දානවා ඉස්කෝල වලට කිට්ටුයි සුපර් මාර්කට් වලට කිට්ටුයි කියලා. හැබැයි ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් කිට්ටුව නම් ගන්න එකාගේ ජීවිතේට වටීවි සමහර විට අනෙක් ඔක්කෝටම වැඩිය.
එතකොට නුවර ගිය කට්ටිය. උන්ට පිළිමතලාව හරියෙදි කවුදෝ කෝල් එකක් දීලා මාව වාට්ටුවකට දාපු ගමන් මෙන්න මගේ ඇඳ වටේ කට්ටියම. අර මගුල් ඇඳුම් ආයිත්තම් එක්කම. දෙවෙනි හාට් ඇටක් එකෙන් මම බේරුණේ අනූනවයෙන්.
ජීවිතේ ඔහොම තමයි.
හෘද රෝගියෙකුගේ අත්දැකීමක්..