Thursday, February 25, 2021

ගල්පොත්තවෙල පංසලේ මීරිගම ටීචර්ගෙ සිස්සත්ව පන්තියේ සිට කැන්බරා නගරයට..





අපේ කාලෙ හතර වසර කියන්නෙ හැමෝම ශිෂ්යත්ව පංති උන්මාදයෙන් පිරිලා පිස්සු වැටෙන කාලෙ. අම්මලා හැමෝ ම තමන්ගෙ දරුවා හොඳ ම ශිෂ්යත්ව පංතියට දාගන්න පුදුම තරගයක්.

ඒ අතර එක් දරුවෙක් හිටියා ඒ ගැන වගේ වගක් නැති.
ධම්මිකා මිස්ගෙ පංතිය සහ මීරිගම මිස්ගෙ පංතිය කියන්නෙ පැල්මඩුල්ල අවට හැම අම්මෙක්ගෙ ම හීනයක්.
එතනින් අර දරුවාට ධම්මිකා මිස්ගෙ පංතියෙ ෆ්රී කාඩ් එකක් හම්බෙනවා. ඒ දරුවා ඉතා ආසාවෙන් ඒ පංතියට යනවා. 'දැන් ශිෂ්යත්ව විබාගෙ පාස් වෙතෑකි'.
තුන්වෙනි සතියෙ පංතියෙ විබාගයක්. ප්රශ්න පත්තරේ බෙදලා මිස් අහනවා 'ළමයි, පේපර් එකේ ප්රින්ටිං මිස්ටේක් තියෙනවනං කියන්න'. ළමයි දෙතුන් දෙනෙක් එක එක ඒවා කියනවා. අර දරුවට පේන්නෙ ම 13 වෙනි ප්රශ්නෙට දෙන ලකුණු ප්රමාණය සටහන් වෙලා නැති එක. ඒ දරුවා නැගිටලා ඒක කියනවා. ධම්මිකා මිස් එක පාරට ම 'ෆ්රී කාඩ් දුන්න එකට හරියන්නද ඕන්නනැති පණ්ඩිතකම් කියන්නෙ' කියලා. ලැජ්ජාව ඉහවහා දුවපු ඒ දරුවා ප්රශ්න පත්තරේ මේසෙ උඩ තියලා බෑග් එකත් අරගෙන ගෙදර දුවනවා.
ඒ දරුවට ගෙදර හිටියත් දුකයි.
මීරිගම මිස් පන්සලේ බණ සාලාවෙ එක කෙළවරක පංතිය කරන්වා. පන්සලේ තාප්පෙ ගාවට උණත් සද්දෙ ඇහෙනවා.
ඒ දරුව එක බදාදා හවස් වරුවක පන්සල් යනවා. බණ සාලාවෙ අනික් කෙළවරේ බංකුවක වාඩි වෙලා පංතියෙ උගන්න ඒවා දිහා බලා ඉන්නවා.
සති දෙක තුනක් මේ වැඩේ දිහා බලා හිටිය එක කරුණාවන්ත මහත්මයෙක් 'පුතා ඊළඟ දවසෙ තාත්තට එන්න කියන්න' කියනවා.
අන්තිමට ඒ දරුවා ඊට පස්සෙ සතියෙ ඉඳලා මීරිගම මිස්ගෙ පංතියට යනවා.
අර කරුණාවන්ත මහත්මයා හැම මාසෙ ම පළවෙනි බදාදට බයික් එකේ ඇවිත් 'ආ පුතා පංති පීස්' කියලා රුපියල් සියයක් දෙනවා.
ඒ දරුවා ඒ සල්ලි දීලා ලා නිල්පාට පංති කාඩ් එකක් අරගන්නවා.
එහෙම මාසයක් දෙකක් යද්දි එක අම්මා කෙනෙක් 'පුතේ ඔයා දවල්ට කන්නෙ නෑ නේද?'කියල අහනවා.
ඊළඟ සතියෙ ඉඳලා ඒ දරුවට දවල් ඉස්කෝලෙ ඇරුණාම පන්ති පටං ගන්න කළින් කන්න බත් පාර්සලයක් හම්බ වෙනවා.
ඒ දරුව තමන්ගෙ ජීවිතෙ පළමුවෙනි ඔම්ලට් එක සහ නෙලුම් අල මාලුව කනවා.
කොහොම හරි ඒ දරුවා ශිෂ්යත්ව විබාගයට ඉස්කෝලෙන් ම දෙවෙනියට ලකුණු අරං පාස් වෙනවා.
********
ප්රබන්ධයක් නෙමෙයි. හැබෑ ජීවිතේ හුස්ම ගත්තු කතාවක්.
ඊට පස්සෙ ඒ දරුවා කැන්බරා නුවර විශ්ව විද්යාලයක පශ්චාත් උපාධියක් හදාරන්න අවස්ථාව හිමි කරගන්නවා.
මේ ලෝකෙ හරි පුදුමාකාරයි.
හැම කෙනාගෙ ම ජීවිතවලට හිමි ධාවන වේගයක් සහ රටාවක් නියම වෙලා/කරලා (?) තියෙනවා.
මේ මොහොතෙත් ඒ දරුවා ඉතා ම තුෂ්නිම්භූත ව ඒ රටාව, ඒ අතීතය ගැන හීනමය මතකයක දිලිසෙන ඇස් ඇති වඉතා සතුටින් හිනැහෙනවා.

කැන්බරා නගරයේ
පාලු පාරක
ඔහේ ඇවිදන් යද්දී
ගල්පොත්තවෙල පංසලේ
මීරිගම ටීචර්ගෙ සිස්ස්යත්ව පංතියට
පන්ති පීස් රුපියල් සීය
ගෙවාගන්න බැරි ව හිටිය
එක් කුඩා දරුවෙක්
මතකයේ එක් අඳුරු තැනක හිඳ
සිනාසෙයි දෙනෙත් දල්වමින.....

ලීලානාත් වික්‍රමආරච්චි

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it