Monday, May 17, 2021

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)



අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික තේ හිටවන්න ගන්නව.

කලු මිටි මැදිවියේ හාදයෙක් උදේ කොහෙදෝ ඉඳන් බස් එකේ ඇවිත් කි. මි. 2ක් පයින් ඇවිත් වත්තෙ වැඩ කලා මුලදි. පස්සෙ ටික ටික ගමේ කුලී කාරයො කීප දෙනෙකුත් ඕකෙ වැඩකලා. ඔය කාලෙදිම අපේ ගමට ඉඩම් අරන් අලුතින් පදිංචියට ආව බොගවන්තලාව පැත්තෙ තේ වත්තක වැඩ කරපු හාදයෙක්. මිනිහ නිතරම කිව්ව ඔය වත්තෙ තේ හරියන්නෙ නෑ කියල.

හැබැයි අර කලු කොට හාදය දිගටම වැඩ කලා. මිනිහ දුර ඉඳල ආවට ගමේ එවුන්ට කලින් උදේ වැඩට ආව. ගමේ උන් ගියාට පස්සෙයි වැඩ ඇරිල යන්නෙ. නිවාඩු දාට එහෙමත් මිනිහ සෝට ගහන් වැඩ කරනව අපි දැකල තියෙනව.

මිනිහ තමයි මාසෙ අන්තිමට කට්ටියගෙ පඩි සල්ලි බේරන්නෙත්.

ඔය කාලෙදි මම කැම්පස් එකේ හිටියෙ. අහල පහල පොඩි එවුන්ට (o/l maths)

පංති කලා නොමිලේ.

ඔය වත්තෙ වැඩ කරන අයගෙ ලමයි කීප දෙනෙකුත් මගෙ පංතියට ආව. මම පංති කරනව කියල අර කලු කොට හාදය එයාලගෙන් දැනගෙන දවසක් මට කීව පුතා මහන්සිය දෙන්නම් මගේ දුවට ගෙදරට ඇවිත් පංති කරන්න කියල.

මම එවෙලෙ කල්පණා කලා ජීවිතේට රු 60ක් දීල ත්‍රීවිල් එකේ නොයන එකා මට කීයක් දෙයිද කියල.

දවස් කීපයක් කිව්වට පස්සෙ මම ඕකට ගියා පාර හොයාගෙන.කිරිඳිවැල පැත්තෙ ගෙවල් ඒකගෙ.

ගියාට පස්සෙයි දන්නෙ ඒ කලු කොට හාදය අර වත්තෙ අයිති කාරය කියල.අපි හිතන් උන්නෙ ඌ අයිති කාරය වැඩට දාපු එකාය කියල.

ඒකට තව තේ පොල් අන්නාසි වතු එහෙමත් තිබුන. මම පංති කලේ බාල දුවට. ලොකු පුතයි දෙවෙනියයි උපාධිය කරන්න ඔස්ට්‍රේලියා ගිහින්.

හැබැයි ගෙදර වාහනයක් තිබුනෙ නෑ.

ඔයා පෝස්ට් එකේ දාපු ප්‍රශ්නෙට මේ කතාවත් ගලපල බලන්න අදහසක් ගන්න.

ලෝකෙට ණය වෙලා වාහනේ යන මිනිස්සු ඉන්න රටේ වෙනස් විදියකට ජීවත්වෙන මිනිහෙක්.


බුද්ධි නන්දන කහඳවල

Thursday, March 25, 2021

ජීවිතේ ඔහොම තමයි..(හෘද රෝගියෙකුගේ අත්දැකීමක්)




මට පළවැනි හාට් ඇටක් එක හැදුනේ අවුරුදු හතළිස් හයේදී. පහුගිය දිනවල මගේ ළබැදියන් කිහිප දෙනෙක්ම හෘදයාබාධ වලට ගොදුරු වුනු නිසා මගේ ඒ අත්දැකීම් බෙදා හදා ගතයුතු යැයි හිතුවා.

එදා සතියේ  දවසක්. බිරිඳ ඇගේ ඥාතියෙකුගේ  මඟුලක් නිසා උදෙන්ම නුවර යන්න පිටත් වෙලා. කොළඹ අවට ඉන්න එයාගෙ සියළු ඥාති පිරිවරත් එක්කම.  දරුවො දෙන්නා උදෙන්ම ඉස්කෝලෙ ගිහින්. සියළුම in laws ලා කැළණි පාලමත් පහු කරපු සතුට සමරන්න උදෙන්ම පාරට බහින්න හිතුවත් විනාඩි පහෙන් පහට වෙලාව මතක් කරන්න කෙනෙක් නැති නිසා පරක්කු වුනා. අන්තිමට ගෙවල් ළඟ ත්‍රී වීල් එකකට කෝල් කලා කොහොම හරි වෙලාවට වැඩට යන්න.

එතකොටත් මම ලෑස්ති වෙනවා. ත්‍රී වීලරේ ගේට්ටුව ළඟ. එක පාරට පපුව මැද්දෙන් උණු වෙලා වැගිරෙන කේතලයක් තිබ්බා වගේ පපුව ඇතුලේ ලෝ දිය ගලනවා දැනුනා. පොතේ කියන පිළිවෙලට වම් අත දිගේ වේදනාවක් ආවේ නෑ. නමුත් තේරුනා මට ඇටැක් එකක් ඇවිත් බව. ගිහිං ත්‍රී වීලරේ වාඩිවෙලා කිව්වා මාව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්න කියලා. 

ප්‍රශ්නෙ වුනේ එතනයි. කොහේටද යන්නේ. ඒ කාලෙ පුතාට ඇදුම හැදෙන නිසා පුතාට වාෂ්ප අල්ලන්න කොළඹ පෞද්ගලික රෝහලකට අපි නිතර යනවා. එතන හොඳට හුරු පුරුදුයි. ඒ පුරුද්දට මම කිව්වේ එතැනට යමු කියලයි. දැන් ත්‍රී වීලරෙ බොරලැස්ගමුවෙ ඉඳන් කොළඹ පැත්තට යනවා. මම පපුව අල්ලගෙන පිටිපස්සේ සීට් එකේ. රත්තනපිටිය, පැපිලියාන පහුවෙද්දී මම ඒවගෙන් සමුගන්නවා. මොකද මට හිතෙනවා මේ හන්දි, කඩ පිලවල් දකින අන්තිම දවස කියලා.

කොහුවල හංදියෙදී අපිට කලින් සිග්නල් ලයිට් එක ඉස්සර වුනා. රතු වැටුණා. ඒ එක්කම කොළ පාටට පත්තු වුනු ඊතලේ පෙන්නුවා වමට හරවන්න අවසරයි කියලා. වමට හැරෙව්වොත් කළුබෝවිල ඉස්පිරිතාලෙට යන්න පුළුවන්. මම ජීවිතේට කියපු ඥනවන්තම වචන ටික කිව්වෙ එතකොටයි. "අපි කළුබෝවිලට යමු".

විනාඩි දෙකකින් අපි රෝහල් ගේට්ටුව ළඟ. තව විනාඩි තුනකින් මම හදිසි ප්‍රතිකාර ඒකකයේ, සිංහලෙන් කිව්වොත් ඊ සී යූ එකේ, ඇඳක් උඩ, එහෙන් මෙහෙන් ඇඟට අමුනපු වයර් ගොඩක් එක්ක. මාව වට කර ගත්තු රෝහල් කාර්ය මණ්ඩලයක් එක්ක. 

මට තේරුණු විදිහට අඩුගානේ එතන හිටිය  දෙන්නෙක් දොස්තරලා. ඒ එක්කෙනෙක් කිව්වා මට හෘදයාබාධයක් වැලදී ඇති බව. ඒත් එක්කම මගේ හිතේ විශ්වාසය තහවුරු කලා මම දැන් ඔවුන් සමග නිසා බය වෙන්නට හේතුවක් නැති බව. ඒ එක්කම කිව්වා මට හෙළවෙන්නට හෝ කතා කරන්නට අවසර නැති බව. ඉතා කුඩා චලනයක් පවා හදවතට හොඳ නැති බව. 

නමුත් ඔවුන්ට මගෙන් අසන්නට ප්‍රශ්ණ තිබුනා. පිළිතුර ඔව් හෝ නෑ ප්‍රශ්ණ. මේ පළවෙනි ඇටැක්

එකද, මම මොකුත් බෙහෙතක් ගන්නවද මේ සම්බන්ධව, මට ඇලජික් බෙහෙත් තියනවාද, පවුලේ අයට මේ රෝගය තියනවාද වගේ ප්‍රශ්ණ. මම ඇස් බෝල වමට හා දකුණට හැරවීමෙන් ඔව් හෝ නෑ කියන්න ඕනෙ. හැම කතා කරන වචනයක්ම, හැම චලනයක්ම මට අවාසියි...!

එදා මම පෞද්ගලික රෝහලට ගියා නම් සියල්ල වෙනස් වෙන්න තිබුනා. වාහන තදබදය එක්ක කොළඹට එන්න තව පැය බාගයක්වත් යාවි. මං පස්සෙ දැනගත්ත විදිහට හෘදයාබාධයකදි හැම තත්පරයක්ම වටිනවා. ආබාධය හැදුනු වෙලේ සිට ප්‍රතිකාර ලැබෙන තුරු හදවත හානියට ලක්වෙනවා. ජීවිතේ බේරුනත් ඒ හානි වෙච්ච කොටස නැවත යථා තත්්වයට ගේන්න බැහැ. අදත් එකෝ පරීක්ෂාවක් කලාම දොස්තරවරු පෙන්නනවා මගේ හදවතේ හානි වු කොටස. ඒ ටික අක්‍රීයයි අදටත් සදහටත්.

පෞද්ගලික රෝහල් හොඳයි වෛද්‍ය උපදේශනයක් ගන්න. ඒ කිව්වෙ දොස්තර කෙනෙක් චැනල් කරන්න. එහෙම නැතිනම් කලින් එකඟ වූ වෙන් කරගත් දිනයක රෝහල් ගත වී ශල්‍ය කර්මයක් වුනත් කරගන්න. නමුත් මගේ අත්දැකීම නම් හදිසි අවස්ථාවකදී ආණ්ඩුවේ ඉස්පිරිතාලේ තමයි. මමත් කළුබෝවිල රෝහල මගේ ජීවිතය බේරුවට පස්සෙ නිවාඩු පාඩුවෙ බයිපාස් එක කරගත්තේ පෞද්ගලික රෝහලක.

ඔය ඉඩම් විකුණන කට්ටිය දැන්වීම් දානවා ඉස්කෝල වලට කිට්ටුයි සුපර් මාර්කට් වලට කිට්ටුයි කියලා. හැබැයි ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් කිට්ටුව නම් ගන්න එකාගේ ජීවිතේට වටීවි සමහර විට අනෙක් ඔක්කෝටම වැඩිය.

එතකොට නුවර ගිය කට්ටිය. උන්ට පිළිමතලාව හරියෙදි කවුදෝ කෝල් එකක් දීලා මාව වාට්ටුවකට දාපු ගමන් මෙන්න මගේ ඇඳ වටේ කට්ටියම. අර මගුල් ඇඳුම් ආයිත්තම් එක්කම. දෙවෙනි හාට් ඇටක් එකෙන් මම බේරුණේ අනූනවයෙන්.

ජීවිතේ ඔහොම තමයි.


හෘද රෝගියෙකුගේ අත්දැකීමක්..

Thursday, February 25, 2021

ගල්පොත්තවෙල පංසලේ මීරිගම ටීචර්ගෙ සිස්සත්ව පන්තියේ සිට කැන්බරා නගරයට..





අපේ කාලෙ හතර වසර කියන්නෙ හැමෝම ශිෂ්යත්ව පංති උන්මාදයෙන් පිරිලා පිස්සු වැටෙන කාලෙ. අම්මලා හැමෝ ම තමන්ගෙ දරුවා හොඳ ම ශිෂ්යත්ව පංතියට දාගන්න පුදුම තරගයක්.

ඒ අතර එක් දරුවෙක් හිටියා ඒ ගැන වගේ වගක් නැති.
ධම්මිකා මිස්ගෙ පංතිය සහ මීරිගම මිස්ගෙ පංතිය කියන්නෙ පැල්මඩුල්ල අවට හැම අම්මෙක්ගෙ ම හීනයක්.
එතනින් අර දරුවාට ධම්මිකා මිස්ගෙ පංතියෙ ෆ්රී කාඩ් එකක් හම්බෙනවා. ඒ දරුවා ඉතා ආසාවෙන් ඒ පංතියට යනවා. 'දැන් ශිෂ්යත්ව විබාගෙ පාස් වෙතෑකි'.
තුන්වෙනි සතියෙ පංතියෙ විබාගයක්. ප්රශ්න පත්තරේ බෙදලා මිස් අහනවා 'ළමයි, පේපර් එකේ ප්රින්ටිං මිස්ටේක් තියෙනවනං කියන්න'. ළමයි දෙතුන් දෙනෙක් එක එක ඒවා කියනවා. අර දරුවට පේන්නෙ ම 13 වෙනි ප්රශ්නෙට දෙන ලකුණු ප්රමාණය සටහන් වෙලා නැති එක. ඒ දරුවා නැගිටලා ඒක කියනවා. ධම්මිකා මිස් එක පාරට ම 'ෆ්රී කාඩ් දුන්න එකට හරියන්නද ඕන්නනැති පණ්ඩිතකම් කියන්නෙ' කියලා. ලැජ්ජාව ඉහවහා දුවපු ඒ දරුවා ප්රශ්න පත්තරේ මේසෙ උඩ තියලා බෑග් එකත් අරගෙන ගෙදර දුවනවා.
ඒ දරුවට ගෙදර හිටියත් දුකයි.
මීරිගම මිස් පන්සලේ බණ සාලාවෙ එක කෙළවරක පංතිය කරන්වා. පන්සලේ තාප්පෙ ගාවට උණත් සද්දෙ ඇහෙනවා.
ඒ දරුව එක බදාදා හවස් වරුවක පන්සල් යනවා. බණ සාලාවෙ අනික් කෙළවරේ බංකුවක වාඩි වෙලා පංතියෙ උගන්න ඒවා දිහා බලා ඉන්නවා.
සති දෙක තුනක් මේ වැඩේ දිහා බලා හිටිය එක කරුණාවන්ත මහත්මයෙක් 'පුතා ඊළඟ දවසෙ තාත්තට එන්න කියන්න' කියනවා.
අන්තිමට ඒ දරුවා ඊට පස්සෙ සතියෙ ඉඳලා මීරිගම මිස්ගෙ පංතියට යනවා.
අර කරුණාවන්ත මහත්මයා හැම මාසෙ ම පළවෙනි බදාදට බයික් එකේ ඇවිත් 'ආ පුතා පංති පීස්' කියලා රුපියල් සියයක් දෙනවා.
ඒ දරුවා ඒ සල්ලි දීලා ලා නිල්පාට පංති කාඩ් එකක් අරගන්නවා.
එහෙම මාසයක් දෙකක් යද්දි එක අම්මා කෙනෙක් 'පුතේ ඔයා දවල්ට කන්නෙ නෑ නේද?'කියල අහනවා.
ඊළඟ සතියෙ ඉඳලා ඒ දරුවට දවල් ඉස්කෝලෙ ඇරුණාම පන්ති පටං ගන්න කළින් කන්න බත් පාර්සලයක් හම්බ වෙනවා.
ඒ දරුව තමන්ගෙ ජීවිතෙ පළමුවෙනි ඔම්ලට් එක සහ නෙලුම් අල මාලුව කනවා.
කොහොම හරි ඒ දරුවා ශිෂ්යත්ව විබාගයට ඉස්කෝලෙන් ම දෙවෙනියට ලකුණු අරං පාස් වෙනවා.
********
ප්රබන්ධයක් නෙමෙයි. හැබෑ ජීවිතේ හුස්ම ගත්තු කතාවක්.
ඊට පස්සෙ ඒ දරුවා කැන්බරා නුවර විශ්ව විද්යාලයක පශ්චාත් උපාධියක් හදාරන්න අවස්ථාව හිමි කරගන්නවා.
මේ ලෝකෙ හරි පුදුමාකාරයි.
හැම කෙනාගෙ ම ජීවිතවලට හිමි ධාවන වේගයක් සහ රටාවක් නියම වෙලා/කරලා (?) තියෙනවා.
මේ මොහොතෙත් ඒ දරුවා ඉතා ම තුෂ්නිම්භූත ව ඒ රටාව, ඒ අතීතය ගැන හීනමය මතකයක දිලිසෙන ඇස් ඇති වඉතා සතුටින් හිනැහෙනවා.

කැන්බරා නගරයේ
පාලු පාරක
ඔහේ ඇවිදන් යද්දී
ගල්පොත්තවෙල පංසලේ
මීරිගම ටීචර්ගෙ සිස්ස්යත්ව පංතියට
පන්ති පීස් රුපියල් සීය
ගෙවාගන්න බැරි ව හිටිය
එක් කුඩා දරුවෙක්
මතකයේ එක් අඳුරු තැනක හිඳ
සිනාසෙයි දෙනෙත් දල්වමින.....

ලීලානාත් වික්‍රමආරච්චි

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it